පොල්තෙල් වලින් පසු ආනයනික ආහාර ද්‍රව්‍ය වල අඩංගු හානි කර දේවල් සොයයි!

සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබා දැන් දින තුනක් ගෙවී ගොසිනි. අවුරුද්දට පෙර සමාජයේ ඇති වී තිබු වස විස පොල්තෙල් ගැන කථාබහක් දැන් ඇසෙන්නට නැත.

සියල්ල අවුරුදු උදාවත් සමඟ නිහඩව ගොස් ඇති හැඩය. එසේත් නැතිනම් මේ විස පොල්තෙල් කථාබහක් මතු වුයේ අවුරුද්දට මිල ගොස් තිබු භාණ්ඩ රැසක් පිලිබඳ ජනතාවගේ විරෝධයක් ඇති වීම වැළැක්වීමටද කියා තවකෙකුට සිතිය හැකිය. මේ සැක සංකා සියල්ල සත්‍ය හෝ අසත්‍ය බව අප පවසන්නේ නැත.

නමුත් මේ පිළිකාකාරන පොල්තෙල් කථාවෙන් පසු හෙළි වු තවත් අතුරු කථාවක් විය. ඒ මේ පිළිකාකාරය පොල්තෙල් වලින් පමණක් නොව අපට වෙනත් ආහාර තුලින්ද පැමිණිය හැකි බවය. එසේනම් ඒ ආහාර මොනවාද? යන්න රටේ මහජනතාව දැන ගත යුතුව ඇත. නමුත් අදාල බලධාරීන් මේ සම්බන්ධව තවම නිල ප්‍රකාශයක් ද කර නොමැත. එහෙත් මේ පිලිබඳ පහුගියදා රැස් වු රජයේ ගිණුම් කාරක සභාව විශේෂ අවධානයක් යොමු කර තිබුණි.

පොල්තෙල් වැනි මෙරට ආනයනය කරනු ලබන ආහාර වර්ග ඇතුළු ආහාරවල හානිකර ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයටය. ඒ එහි ආහාර පර්යේෂණ ඒකකයටය.  මේ නිසා ආනයනික ආහාර වල අඩංගු හානිකර ද්‍රව්‍ය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් උපදෙස් ලබා දී ඇත.

ආහාර පරීක්ෂාව සඳහා රසායනාගාර පහසුකම් ප්‍රමාණළුත් නොවන්නේ නම් ඒවා වැඩිදියුණු කර  ආහාර සුරක්ෂිතතාවය ට අදාළ නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවද රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා නිලධාරීන්ට දැනුම් දි ඇත.

විශේෂයෙන්ම ආහාර පරීක්ෂා කරන රසායනාගාර අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් පවතින තත්ත්වය උග්‍රවී ඇති බව ගිණුම් කාරක සභාවේ හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

රටේ අහාර සුරක්ෂිතතාව වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වර්තමානයේදී ගැටලු රැසක් උද්ගතව පවතින බව 2017/2018 වසරවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු විය.

ආහාර සඳහා බලාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති රීති බැවින් ආහාර වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා මෙහිදි අවධාරණය කර ඇත.

ශානි

(රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තාව ඇසුරෙනි)

Social Sharing
නවතම