ජනාධිපති සතොස කරුමය  බන්දුලට උරුම කළ හැටි කියයි.

පාර්ලිමේන්තුවේ ලෝ මේකර් ලා ටී මේකර්ලටත් වඩා පහළට ඇද දැමුවේ පසුගිය යහපාලන ආණ්ඩුව යැයි වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

බුලත්සිංහල සතොස  විවෘත කිරීමෙන්  අනතුරුව පැවති උත්සව සභාව අමතා  බන්දුල ගුණවර්ධන  ඇමතිවරයා මේ අදහස් පළ කළේය. ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“ 2015 අවුරුද්දේ  සිට අවුරුද්දෙන් අවුරුද්ද මේ රට විනාශ මුඛයට ඇදගන ගිය ආණ්ඩුව පසුගිය යහපාලන ආණ්ඩුවයි. නිදහසින් පසු ආණ්ඩුවක්  රටේ සංවර්ධනය, දියුණුව දිගින් දිගටම අඩු කළ ආණ්ඩුව ලෙස ඉතිහාසගත වාර්තාවක් තියන්න පසුගිය යහපාලන ආණ්ඩුව සමත්වෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරය වෙනකොට රටට වෙන්න තියෙන සියල්ල කරලා හමාරයි.  7.4 ක ආර්ථික  වර්ධනයක් සහිතව මහින්ද රාජපක්ෂ මහතා බාරදුන්න රට 2.3 කට අඩු කල රට නැත්තට නැති කළා. මේකට විපක්ෂනායකතුමා ඇතුළු එදා කැබිනට් මණ්ඩලයේ හිටිය සියළු දෙනා සාමුහිකව වග කිවයුතුයි.

මට පෙර හිටපු  වෙළද ඇමතිතුමා උරුම කරල දුන්නදේ මට අරගන යන්න වෙලා  තියෙනවා. එදා රිෂාඩ් බදියුදින් ඇමතිවරයාට සතොස බාරදෙන විට සතයක් වත් ණය නැහැ. නමුත් අපට බාරදෙන කොට සතොස අලාභය පමණක් බිලියන 20 යි. සතොස භාණ්ඩ සැපයුම්කරුවන්ට ගෙවිය යුතුව තිබු මුදල බිලියන 08 ක් වෙලා තිබුණා. දරාගන්න බැරි බිලියන 28 ක ණය කන්දරාව නිසා පසු ගිය වසරේ ජනවාරි වෙනකොට සේවකයින්ට වැටුප් ගෙවන්න බැරි තත්වයට පත්වුණා. ආයතනයක් ඒ තරමටම විනාශ කරන්නෙ කොහොමද කියල මට හිකා ගන්න බැහැ.මේ සම්බන්ධව තියෙන හොරකම්, වංචා, අල්ලස් පිළිබද අල්ලස් කොමිෂන්  සභාවෙත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙත් පරීක්ෂණ තියෙනවා. අපේ ආණ්ඩුව තියෙන කාලයේ මන්ත්‍රිවරයෙකුට හෝ ඇමතිවරයෙකුට විරුද්ධව කවුරුහරි  කොළ කෑල්ලක් ගෙනිල්ල දුන්නත් එතකොට ඒ මන්ත්‍රිවරය, ඇමති හෝ පක්ෂ නායකයා ඇප නැතිව බන්ධනාගාර ගතකළා.

මේ බාරදූර සතොසෙ කරුමය ජනාධිපතිතුමා මට උරුම කරල දුන්නා. මේක ගොඩ ගන්න  මට අතිරේක රුපියල්  බිලියක 2.5 ණය මුදලක්  දිල  පරණ ටික පැත්තක තියල නැවත සතොස ගොඩනැගීමේ කාර්යභාරය අපි ආරම්භ කරල තියෙනවා. මේ වන විට මට බාර දුන්න සතොසෙ වෙළද පිරිවැටුම සියයට සියය දක්වා වැඩි කිරීමට හැකිව තියෙනවා. මෙහි ලාභ පාඩු නැති තැනකට ගේන්න නම්  දිනකට ලංකාව පුරා සතොස ජාලයේ අලෙවිය මිලියන 150 කට වර්ධනය කලයුතුවෙනවා.

සතොසෙ තිබුණු කොමිස්  ගැහිළි, වංචා, දුෂණ, හොරකම්, මගඩි සියල්ල නතර කළා. ලබන වසර වන විට සතොස මුළු ජාතියේම මිළ තීරකයා බවට පත් කරනවා. ගුණත්වයෙන් ඉහළ භාණ්ඩයක් වෙළදපළේ තරගකාරි මිළට දෙනව නම් පාරිභෝගිකයාගේ ජය බිම එතනයි. ගුණත්වයෙන් ඉහළ භාණ්ඩයක්  තරඟකාරී අඩුම මිලකට දෙන්න නම් අතර මැදියන් හා ජාවාරම් කරුවන් සමග මේක කරන්න බැහැ.ඒ සහා සියළු අතරමැදියන්, කොමිස් කාක්කන්, දුෂිතයන්ගෙන් තොරව,  සෘජුව මෙරට ස්වජාතික නිෂ්පාදිතයන් සමග ගණු දෙනු කළ යුතුයි. ආනයනය කරන භාණ්ඩයක් නම් සෘජුව එය ගෙන්වන තැනැත්තා  සමග ගණු දෙණු කළ යුතුයි. ඒ අනුව සතොස ගණුදෙණු කරන්නෙ ප්‍රධාන පාර්ශව දෙකක් සමග පමණයි. එකක් මේ මහපොලවෙ නැගිට ගන්න බැරිව සිටින ස්වජාතික ව්‍යවසායකයින්, දෙවැන්න අපේ රටේ නිෂ්පාදනය නොකරන භාණ්ඩ ආනයන කරුවන් සමග ගණදෙනු කරනවා. සතොස භාණ්ඩ අලෙවි කරන්නෙ ඉතා සුළු ලාභයක් පදනම් කරගන මහජන සුබ සිද්ධිය පදනම් කරගනයි. හොරකම, වංචාව, කොමිස්  ගැහිළි නැත්නම්, අමතිට කොමිස් දෙන්න අවශ්‍ය නැතිනම්, සභාපතිට කොමිස් දෙන්න අවශ්‍ය නැති නිසා ඒ වාසිය මේ රටේ අහිංසක ජනතාවට ලබා දෙනවා. මම වෙළඳ ඇමති  වෙලා ඉන්න තුරු සතොස සමග වෙන කාටවත් තරඟ කරන්න බැරිවෙයි.

මේ අවස්ථාව ඉතාම අමාරු අවස්ථාවක් දේශපාලන වශයෙන්  බංකොලොත් පරණ කුමන්ත්‍රණ කරුවො ටික ආයෙත් එකතුවෙලා සිටිනවා. බංකොලොත් දේශපාලනයේ එල්.ටී.ටී සංවිධානය පැත්තෙ හිටගන හිටපු අය, යුද්දෙ නිම කරනවට මහින්ද රාජපක්ෂට ඔච්චම් කරපු අය අද සංවිධානාත්මකව අර පරණ බොරුවම නැවත සමාජ ගත කිරීමට කටයුතු කරමින් සිටිනවා. මහපොලව උහුලන්නෙ නැති බොරු කන්දරාවක් මිනිස්සුන්ගෙ ඇට මස් ලේ නහර තුළට කාවද්දල වෛරය මුසු වෙච්ච දේශපාලනයෙන් රටක් ආණ්ඩු කරන්න බැහැ. අද දවසේ අප මුහුණ දිල තියෙන ගැටළු බොහෝමයකට හේතුව මෙයයි.

ලොකේ අප සියළුදෙනාට බේරෙන්න බැරි කාරණා තුකන් තියෙනවා. එකක් අප සිළුදෙනා මැරෙනවා. දේශපාලනඥයින් හිතන්නෙ ඔවුන් මැරෙන්නෙ නෑ කියලයි. නමුත් අප සියල්ලන් මැරෙනවා. අනෙක ප්‍රචාරණයයි. තුන්වැන්න  බදුයි. මේ තුනෙන් කාටවත් බේරෙන්න බෑ. හැම වියදමක්ම දරන්න අපෙන් බදු ගන්නවා.

බදු ආදායම බිලියන 1216 වෙනකොට අවුරුද්දකට රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාමික දිමනා ගෙවන්න  බිලියන 1052 යනවා. ඉතුරු වෙන්නෙ බිලියන 164 ක් පමණයි. මේ ඇත්ත ඉලක්කම කිව්ව කියල අංක ගණිතය අසමත් සියළු දෙනාම මට බණිනවා. ඉල්ලන ඕන දෙයක් දෙන්න පුළුවණි. හැබැයි දෙන්න නම් ඔබතුමන්ලගෙන් ගන්න ඕනා.

2020 වර්ෂයෙදි වැට් බද්දෙන් බිලියන 233 ක් ලැබිල තියෙනවා. ඒ අවුරුද්දෙ ගත්ත ණය සදහා ආණ්ඩුව  බිලියන 980ක් පොලිය ගෙවන්න වෙනවා. බිලියන 233න් බිලියන 933 ක් ගෙවන්න බෑ. ඒක ගෙවන්න නම් වැට් බද්ද හතර ගුණයකින් වැඩිකරන්න ඕනා. දැනට සියයට අටේ වැට් බද්ද  සියයට 32 කලත් ණය පොළිය ගෙවාගන්න මදි වෙනවා. රටේ ඇත්ත මුදල් අර්බුදය මේකයි. මේක කිව්වාම භූමිතෙල් ගෑවුණ ගැරඩි වගේ දගලනවා. ඇත්ත කින්න බැරි වෛරයෙන් ආණ්ඩු වෙනස් කරන්න හිතන පිරිසක් ඉන්න රටක් යථාර්ථවාදී ‍ ආර්ථික, දේශපාලන, සමාජ විග්‍රහයකින් තොර රටක්ගොඩ නැගිම සදහා පළමුව ජනතාව සත්‍යයෙන් දැනුවත් කළ යුතුයි.

 (එස්. පොද්දෙණිය)

Social Sharing
නවතම