අසාධාරණයට ලක් වූ නාවික සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු වේ!

සේවා කොන්ත්‍රාත් කාලය දිගු නොකර නාවික හමුදාවෙන් නෙරපීම සම්බන්ධයෙන් නාවික හමුදාවට  එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබු නැවියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු වී ඇත.

ඇඹිලිපිටිය තෙල්බදුරුඹය, සිසිල් උයන ප්‍රදේශයේ පදිංචි පේදුරු ආරච්චිලාගේ ජානක පුෂ්පකුමාර මහතා නාවික හමුදාවේ විදුලි ශිල්පියෙකු වශයෙන් සේවය කරමින් සිටියදි සේවා කොන්ත්‍රාත් කාලය දිර්ඝ නොකර නාවික හමුදාවෙන් නෙරපීම සම්බන්ධයෙන් ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂඨාධිකරණයේ ගොනු කර තිබුණි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ විදුලි හා විද්‍යුත් අංශයේ අධ්‍යක්ෂ ජනාරාල්, නාවික හමුදාපතිවරයා ඇතුළ පස් දෙනෙකුවය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම  ප්‍රීතී පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන හා ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් සිදු කර තිබේ.

ඒ අනුව නාවික හමුදාවේ මෙම  විදුලි ශිල්පියා සේවයෙන් නෙරපීමේ ලිපිය බලශූන්‍ය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ සේවා දිගුව පිළිබද අයදුම්පත යළි සලකා බලන ලෙසටද නාවික හමුදාපතිවරයාට නියෝග කරනු ලැබ ඇත.

එමෙන්ම නාවික හමුදාවේ නායක විදුලි ශිල්පීයකුගේ මූලික අයිතිවාසිකම් නාවික හමුදාපතිවරයා කඩ කර ඇති බවට තීන්දු කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් පනස් දහසක මුදලක් එම තැනැත්තාට ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කර ඇත.

මීට පෙරද කන්දේකැටිය සඳුන් මාලිංග නඩුව සම්බන්ධයෙන්ද පෑලියගොඩ පොලිසියේදි වදහිංසාවට ලක්ව මිය ගිය චදික් ශාමන්ගේ මරණය සම්බන්ධයෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණය සුබදායි තීන්දු ලබා දී තිබුණි. මෙය අධිකරනයේ ස්වාධීනත්වය, විශ්වාසනීයත්වය  පිලිබඳ යහපත් පෙර නිමිත්තක් වන්නේය.

-ශානි-

Social Sharing
නවතම