බේරුවල ධීවරයින්  එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි ඉල්ලයි!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට උණුසුම් කළේ මීට මාස දෙකකට ඉහතදීය. එහිදී සාගරයට, පරිසරයට හානි වූවා සේම මුහුදු ජිවීන්ද විශාල වශයෙන් මිය ගියහ. එමෙන්ම මේ නෞකාව මුහුදුබත් වීම නිසා මෙරට ධීවරයින් රැසකටද සිය දෛනික රැකියා අහිමිව ගියහ. තවත් පිරිසකගේ ධීවර ආම්පන්න විනාශ විය. කොරොනාවෙන් හෙම්බත් වී සිටි ඔවුන් මේ නෞකාව ගිනිගෙන මුහුදුබත් වීම නිසා කබලෙන් ලිපට වැටුණි.

රජය එදා බලාපොරොත්තු වූයේ මේ නෞකාව අයත් සමාගමෙන් වන්දි ගැනීමටය. එහි එක් පියවරක් ලෙස මේ වන විට රුපියල් මිලියන 720 ක වන්දි මුදලක් මෙරටට ලැබී ඇත. අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසා තිබුණේ මේ මිලියන 720 න් රුපියල් මිලියන 420 ක් පමණ මුදලක් ආපදාවට පත් ධීවරයින්ට වන්දි ලෙස ලබා දෙන බවය.

ඒ අනුව මෙහි සාච්ඡාවක් පහුගියදා අධිකරණ අමාත්‍යාංශයේදී පැවති අතර මේ වන විට ලැබී ඇති වන්දි මුදල් හානියට පත්  ධීවර ජනතාවට ප්‍රදානය කිරීම සම්බන්ධව එහිදී  අවධානය යොමු වු බව අධිකරණ අමාත්‍යාංශයට මාධ්‍යට කියා තිබුණි.  එසේම ලැබී ඇති තොරතුරු අනුව ධීවර ජනතාවගේ බැංකු ගිණුම් සදහා මුදල් බැර කිරීම සිදුවන බවත්, නෞකාවේ ගින්න හේතුවෙන් රැකියාවන් අහිමිව පීඩාවට පත්ව සිටින වෙනත් දිස්ත්‍රික්කවල ධිවර ජනතාවගෙන් ලැබෙන තොරතුරුවල නිරවද්‍යතාවය පිළිබදව සළකා බලා ඔවුන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බවටත් ප්‍රකාශ කර තිබුණි.

නමුත් ඊයේ (20) බේරුවල කුඩා බෝට්ටු අංගනයේ ධීවරයෝ පිරිසක්  විරෝධතාවයක නිරත වූයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මාස 2 ක් ගත වුවද තමන්ට සාධාරණයක් ඉටුව නැතැයි පවසමිනි.

“නැව ගිලී  මාස දෙකයි බොරු එපා සියලු ධීවරයින්ට වහාම වන්දි ලබා දෙන දෙනු ” යන මැයෙන් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය සංවිධානය කර තිබුණි.

-ශානි-

Social Sharing
නවතම