කඳුකරයේ දරුවන් මෙහෙකාර සේවයට තල්ලු කිරීම වර්ගවාදී සංහාරයේම තවත් පැතිකඩක්! – මාරිමුත්තු සතිවේල් පියතුමා

කඳුකරයේ  දරුවන් ඇතුළු දෙමළ තරුණියන්  මෙහෙකාර සේවයට  තල්ලු කිරීම  ශ්‍රී ලංකාවේ  කුප්‍රකට වර්ගවාදි සංහාරයේම තවත් පැතිකඩක් බවත්, රටේ ආර්ථිකය සහ සංවර්ධනය දෙමළ ජනතාවට තවමත් උරුම වී නැති අතර ඔවුන් මේ රටේ ප්‍රජාවක් ලෙසත් පිළි ගෙන නොමැති බවත්  මාරිමුත්තු සතිවේල් පියතුමා පවසයි.

එහි ප්‍රතිපලයක් ලෙස කඳුකරයේ මේ වන විට වතු කම්කරුවන් ලෙස සේවයේ සිටින්නේ එක්ලක්ෂ හතලිස් හයදහසක් පමණක් වුවත් එවැනි තුන් හතර ගුණයක තරුණ තරුණියන් අගනගරය ආශ්‍රිතව සේවයේ සිටින බව පියතුමා අවධාරණය කළේ විවිධ ජනවර්ග වෙත මුදාලන පීඩනයන් හෙළා දකිමින් “83 – කළු ජුලිය ආවර්ජනයෙන් ඔබ්බට ගමන් කරමු!” තේමාව යටතේ ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය විසින් අද 20 කොළඔදී සංවිධානය කර තිබු සාකච්ඡාවක් අමතමිනි.

ලක්ෂ තුනක්, හතරක්,  වන එම පිරිස තමන්ගේ උපන්  භුමියෙන් පිටමං කළේ කවුදැයි ප්‍රශ්න කළ පියතුමා වැඩි දුරටත් පෙන්වා දුන්නේ මේ රටේ පවතින ජාතිවාදය නිසා ඔවුන්ට සංවර්ධනය අයිති වී නොමැති බවය.

77 වසරේත් 83 වසරේදීත් දියත් වූ දෙමල ජනයාට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අනාථ කඳවුරු තුළ දිවි ගෙවීමට සිදු වූ මාරිමුත්තු සතිවේල් පියතුමා එහිදී  සිහිපත් කළේ එම ජාතිවාදී කෝලාහල වල ප්‍රතිළුලයක් ලෙස ලක්ෂ සංඛ්‍යාත දෙමළ ජනතාවට තමන්ගේ භුමිය අතහැර ඉන්දියාවට පළා යෑමට සිදු වූ බවයි.

කළු ජූලිය සිහි කරමින්   ලිප්ටන් වටරවුමේ නිහඩ විරෝධතාවයක්ද දියත් කිරීමටත් ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය  කටයුතු කර තිබුනි.

Social Sharing
නවතම