පැමිණිල්ලක් කරන්න ගිය පවුලකට පාදුක්ක පොලිසියේ කාමාතුරයන්ගෙන් වදහිංසා!

පාදුක්ක පොලිසීයට පැමිණිල්ලක් කරන්න ගිය දෙමාපිය යුවලකට හා ඔවුන්ගේ දරුවන්ට එහි නිලධාරීන් වදහිංසා සිදු කිරීම සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියට එරෙහිව ආසියානු මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇත.

පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ පදිංචි පවුලක් මෙසේ පාදුක්ක පොලිසියේ හිරිහැරයට ලක්ව ඇත. ඔවුන්ගේ දියණිය මුහුණු පොත හරහා තරුණයෙකු හඳුනාගෙන ඇති අතර ඔහු නිරුවත් ඡායාරූප රැසක් ඇයගේ ජංගම දුරකථනයට එවා ඇත. ඒවා මෙම දැරියගේ පියා දැක ඇති අතර ඔහු එම තරුණයාට කථා කොට වහාම මෙම සම්බන්ධය නවත්වන ලෙස කියා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ හෙට උදේ වෙද්දි උඹේ දුව උස්සනවා, පුලුවන් දෙයක් කරපං කියාය.

තැතිගැන්මට පත් වු දෙමාපියන් වහාම දරුවන්ද සමඟ මේ ගැන පැමිණිලි කිරීමට පාදුක්ක පොලිසියට ගොස් ඇත. ඒ ජුනි 20 දා සවසය. ඒ වන විට පාදුක්ක පොලිසියේ කාන්තා කාර්යාංශයේ කිසිවෙකුත් නොමැති බවත් පසුදා පැමිණෙන ලෙසත් එහි සිටි නිලධාරියෙකු දන්වා ඇත.

නමුත් සිය දියණියගේ ජිවිතය ගැන සිතා මේ දෙමාපියන් යළි මිරිහාන පොලිස් ස්තානය වෙත ගොස් එහි ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇත. රාත්‍රියේ ඔවුන් ආපසු නිවස බලා එනවිට පාදුක්ක පොලිසියට ගොස් ඇත්තේ තමන් මිරිහානට පැමිණිල්ල කළ නිසා යළිත් පසුදා පාදුක්ක පොලිසිය වෙත පැමිණිය යුතු නැහැ නේද කියා විමසිමටය.

එහිදී පොලිස් නිලධාරින් පවසා ඇත්තේ එහෙම බැහැ, මේක ගමේ පොලිසිය, මෙහෙත් පැමිණිල්ලක් කළ යුතු බවටය. ඒ අනුව ඔවුන් එම පොලිසියේද පැමිණිල්ල සටහන් කර ඇත. එම සටහනෙන් පසුව මෙම දැරියගේ පියාව විමලසිරි නම් පොලිස් නිලධාරියා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදීදැරියගේ පියා ආවේගයෙන් තමන්ට සිදු වු අසාධාරණය පිලිබඳ කෑ ගසා ඇත. පසුව අලුයම කුඩා දියණියට පානය කිරීමට වතුර ඉල්ලු විටද පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම ඇය අලුයම වැසිකිලියට යාමට වැඩිහිටි පොලිස් නිලධාරියෙකුගෙන් පාර අසා ඇති අතර පසුව ඔහුද ඇයට අතවර කිරිමට උත්සහ කළ බව දැරියගේ මව කියා සිටියි. එහිදි වෙනත් පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ ඇයට බටයක් වැනි යමකින් පහර දුන් බවත් එහිදි ඇය සිහිමුර්ඡා වු බවත් පවසයි.

පසුදා උදෑසන පාදුක්ක පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ව කැඳවා ඉතාම පහත් ආකාරයෙන් තමන්ට බැන වැදුන බවත් දහවල් සිය දියණියට හා සැමියාට ඇප ලැබුණු බවද ඇය කියා සිටියි. ඇප ලැබීමෙන් පසු නිවසට පැමිණි ඔවුන් කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට ගොස් තමන්ට සිදු වු අසාධාරණය පිලිබද කියා සිටිමේදි ඔවුන් මෙය පොලිස් මූලස්ථානය වෙත යොමු කර ඇත. ඒ ජුනි 22 දාය. ඒ අනුව පොලිස් මුලස්ථානය වෙත ගොස් ඇති මෙම පිරිස එහිදි පැමිණිල්ල ලියා එම නිලධාරින්ගේ  උපදෙස් මත අවිස්සාවේල්ල රෝහලට ඇතුලත්ව දින 4 ක නේවාසික ප්‍රතිකාර ලබාගෙන ඇත. මෙම නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේදි රෝහල් පොලිසිය ඇයගෙන් කට උත්තරයක් ලබාගෙන නොමැත. දැන් විමර්ශන පවතත්වන පොලිස් නිලධාරින් විමසන්නේ ඒ කට උත්තරය කෝ කියාය.

නමුත් මේ වනතුරුත් ඔවුන්ට සාධාරණයක් ඉටු වී නොමැති අතර දිගින් දිගටම පාදුක්ක පොලිසිය තමන් පසුපස හඹාඑන බව ඔවුන් කියා සිටියි.

මෙම දැරියගේ මවගේ ජංගම දුරකථනයද තවමත් ඇත්තේ පොලිසියේය. ඇයට දැන් ඇයගේ රැකියාවද අහිමි වි ගොසිනි. දැරියගේ පියාටද ස්ථිර රැකියාවක් නොමැත. ඔවුන් තවමත් හැඬු කඳුලෙන් යුතුව බලා සිටින්නේ තමන්ට සිදුවු අසාධාරණයට පොලිස්පතිවරයාගෙන් හෝ ජනාධිපතිවරයාගෙන් සාධාරණයක්  ඉෂ්ඨ වෙනතුරුය.

මොවුන්ට සිදු වී ඇති මේ අසාධාරණ ක්‍රියාවලිය සම්බන්ධව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා අද දිනයේ පොලිස්පතිවරයාට විශේෂ ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ වහාම මේ පිලිබඳ අවධානය යොමු කරන ලෙසටය.

මෙම කථාවට අදාල වීඩියෝව

Social Sharing
නවතම