(අ)සංස්කෘතික ලංකාවේ ඛේදවාචකයන්ගෙන් කෙළවර වන ඩේටින් සයිට් සංස්කෘතිය : 15 හැවිරිදි දැරිය අපයෝජනය

-නීතිඥ දුලාන් දසනායක-

15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කොට අපයෝජනයට ලක් කිරීම මේ වන විට ලංකාවේ දැඩි ආන්දෝලනයකට ලක් වී ඇති අතර මාධ්‍ය අවකාශයන් එකී සිදුවීමේ ප්‍රවෘත්තීන්ගෙන් පිරී ඉතිරී යමින් තිබේ. මේ වන විට යම් ආකාරයකට අඩු වීමක් දක්නට ලැබුණද, පසුගිය සති කිහිපයේ මාධ්‍යයේ ඉහළම අවධානයක් දිනා ගත් ප්‍රවෘත්තිය මේ සිදුවීමයි. ඉතා කෙටි කාලයක් තුළදී පුද්ගලයින් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. ඒ සමගම මේ සිදු වීමට විවිධ පුද්ගලයන්ගේ නම් සම්බන්ධ කොට දූෂමාන ආරංචි රැසක්ද සමාජය පුරා පැතිරවීමටද ඇතැමුන් කටයුතු කරමින් තිබේ. ඒවා දේශපාලන කොන්ත්‍රාත්තු මෙන්ම පරීක්ෂණ නොමග යැවීමේ හෝ එළිදරව් නොකිරීමේ කොන්ත්‍රාත්තුද විය හැක.

දැනට වාර්තා වන ආකාරයට අන්තර්ජාල දැන්වීමේ මෙම දරැවාගේ වයස අවුරුදු 19 ක් ලෙසයි සදහන්ව ඇත්තේ. ලෝකය පුරාම අතිශයින් ජනප්‍රිය එමෙන්ම බොහෝ රාජ්‍යයන්ගේ අතිශයින් විවෘත ඩේටින් වෙබ් අඩවි සංස්කෘතිය ලංකාවේ ක්‍රියාත්මක වන්නේ කප්පරක් ව්‍යාජ තොරතුරු, ව්‍යාජ පින්තූර සහිතවය. ලෝකයේ මේ වන විට පවත්වා ගෙන යන ඩේටින් වෙබ් අඩවි ප්‍රමාණය අති විශාලය. ලෝ ප්‍රකට එක්සත් රාජධානියේ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය පවා ඩේටින් වෙබ් අඩවියක් පවත්වා ගෙන යයි. මෙම වෙබ් අඩවි සහකරුවකු සොයා ගැනීමේ සිට ලිංගික ශ්‍රමිකයකු සොයා ගැනීම දක්වා විවිධ කටයුතු සඳහා පවත්වා ගෙන යයි. ස්ත්‍රීන්, පිරිමින්, සංක්‍රාන්ති ලිංගිකයන්, සමරිසි පුද්ගලයන්, ඇතුළුව විවිධ ලිංගික නැමියාවන් සහිත පුද්ගලයන්ගේ හඳුන්වාදීම්, තමා සපයන සේවාවන් පිළිබඳ විස්තර මෙම වෙබ් අඩවි තුළ අන්තර්ගතය.

ලංකාවේ ඩේටින් වෙබ් අඩවි

දැනට පොලීසිය මගින් ප්‍රකාශ කරන පරිදිම ඉහත කී 15 හැවිරිදි දැරිය ලිංගික ශ්‍රමිකයකු ලෙස අලෙවි කිරීමේ දැන්වීම් වෙබ් අඩවි 6ක පළ කොට තිබේ. එනම් ලංකාවේ එවන් වෙබ් අඩවි 6ක ක්‍රියාත්මක වන බවයි. නමුත් අන්තර්ජාලය පරීක්ෂා කිරීමේදී එවන් දේශීය වශයෙන් ක්‍රියාත්මක වන වෙබ් අඩවි 6කටත් වඩා ලංකාවේ විවිධ මට්ටමෙන් ක්‍රියාත්මක වන බවයි. එපමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන ඩේටින් වෙබ් අඩවි ගණනාවක්ද ලංකාවේ ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන් ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන වෙබ් අඩවි තුළ ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ නිරුවත් ඡායාරූප පවා කිසිදු පැකිළීමකින් තොරව පළ වන අතර එකී වෙබ් අඩවි සදහා ඉහළ ඉල්ලුමක් පවතින බව පෙනෙයි.

ලංකාවේ මෙම වෙබ් අඩවි තුළද ස්ත්‍රී මෙන්ම පිරිමි ලිංගික ශ්‍රමිකයන්ගේද, සමරිසි පුද්ගලයන්ගේද, සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේද, ස්ත්‍රී-පුරුෂ යුවළ හා සමරිසි යුවළ විසින් සපයනු ලබන ලිංගික සේවාවන්ද, BDSM වැනි විවිධ ආකාරයේ ලිංගික සේවාවන් ඇතුළුව විවිධ ලිංගික සේවාවන් පිළිබඳ දැන්වීම් පළ වෙයි. මේවායේ අදාළ තැන්ත්තා‍ කවුද එම තැනැත්තාගේ වයස ශරීරයේ විස්තර සහ සම්බන්ධ කර ගත හැකි දුරකතන අංක ඇතුළත් වෙයි. මේවා ඉතාමත් ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වන වෙබ් අඩවි වෙයි.

ක්‍රියාකාරීත්වය

මෙම වෙබ් අඩවි ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වුවද අදාළ සේවාවන් සැපයීම ඒ තරම්ම ප්‍රසිද්ධියේ සිදු නොවේ. කිසිදු ලිංගික ශ්‍රමිකයෙක් තමා සිටිනා ස්ථානය නිශ්චිත වශයෙන් නොකියයි. ඔවුන්ගේ දුරකතන අංකයට ඇමතුමක් දුන් විට යම් ස්ථානයකට පැමිණ නැවත අමතන ලෙස ඉල්ලීමක් කෙරෙයි. ගනුදෙනුව ස්ථිර වන්නේ දෙවන ඇමතුමෙන් පසුවය. මේ ක්‍රියාවලියේ ගනුදෙනුකරුවන්ගේ මුදල් වංචා කිරීම්ද ඕනෑ තරම් සිදු වී ඇති අතර එම වංචා පිළිබඳ පොලිස් පැමිණිලි දැමීම් සිදු නොවන්නේ මේ ක්‍රියාවලිය රහස්‍යව සිදු වන නිසාත්, මුදල් වංචා කරන ලද පුද්ගලයාටත් වඩා සමාජයේ ගර්හාවට පාත්‍ර වන්නේ මෙම ක්‍රියාවලියට සම්බන්ධව මුදල් අහිමි වූ වින්දිතයාය. ඒ ලංකාවේ සමාජය සැකසී ඇති ආකාරයයි. බාල වයස්කාරියක් හෝ බාල වයස්කරුවෙන් කිසි ලෙසකින් මෙම වෙබ් අඩවි තුළදී සිය ඇත්ත වයස ප්‍රදර්ශනය නොකරයි. එමෙන්ම වයෝපූර්ණත්වයට පත් වූ ලිංගික ශ්‍රමිකයන්ද වයස පිළිබඳව මෙන්ම අනෙකුත් කාරණා සම්බන්ධව ඇත්ත තොරතුරු එළිදරව් නොකරයි.

කොවිඩ් තත්වය තුළ දී මෙම වෙබ් අඩවි තුළින් අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ අංගයකි වොට්ස් ඇප්, වයිබර් වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සජීවීලෙස ලිංගික හැසිරීම් වීඩියෝ හුවමාරුව. මේ සදහා කලින් මුදල් ගෙවා වේලාවන් වෙන් කර ගත යුුතු අතර මුදල් ගෙවීමෙන් පසු සේවය නොලැබූවන් ඕනෑ තරම් සමාජය තුළ සොයා ගත හැක. නමුත් මුදල් වංචනිකයන්ට නීතිය ක්‍රියාත්මක නොවන්නේ එවන් වංචාවට හසු වූ කිසිවෙකුත් ඉදිරියට නොපැමිණීම නිසයි. මෙම වීඩියෝ හුවමාරු කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් පහසුවෙන් බාල වයස්කරුවන්ට සිදු කල හැකිය. තමන්ගේ නිවසේ සිටම මෙම කටයුත්ත සිදු කිරීමේ හැකියාව නිරායාසයෙන්ම ඔවුන්ට හිමි වෙයි.

බාලවයස්කරුවන් අනතුරේ හෙළන (අ)සංස්කෘතික සීමාව

මෙම ඩේටින් වෙබ් අඩවි සදහා ඉහළ ඉල්ලුමක් ලංකාවේ පවතින අතර, ලිංගික සේවා සැපයීමේ ලිංගික ශ්‍රමිකයන් අති විශාල ප්‍රමාණයක් ලංකාවේ සිටිති. කාන්තාවන් කිහිප දෙනෙක් තබා ගෙන ලිංගික සේවා සැපයීමේ මධ්‍යස්ථාන පවත්වා ගෙන යාමේ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති අතර මේ වන විට ලිංගික සේවා සැපයීම තමන්ට තනිවම කරගෙන යා හැකි ව්‍යාපාරයක් බවටද පත් වී ඇත. මහල් නිවාස ගෙවල් කුලියට ගෙන මෙම රැකියාව සිදු කරන්නන් ඇති බවත් ඔවුන්ට අති විශාලා ආදායමක්ද හිමි වන බවත් මේ පිළිබඳව විමර්ෂනය කල හොත් සොයා ගත හැකිය. පවතින තත්වය මෙය වන අතර මෙය කිසි ලෙසකින් වාරණයකින් නැවැත්විය නොහැක.

සිදු කල යුත්තේ මේ ලිංගික සේවා සැපයීමේ නව ක්‍රමවේදය ඔස්සේ සිදු වන බරපතළ ව්‍යසනයන් වළක්වා ගැනීමට කටයුතු කිරීමයි. එකී ව්‍යසනයන් අතර ප්‍රධානතම ව්‍යසනයකි බාල වයස්කාර දරු දැරියන් ලිංගික සේවා සැපයීමේ ව්‍යාපාරයට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් සම්බන්ධ විය හැකි වීම. මේ මගින් ඇති වන සමාජ ව්‍යසනය අතිශයින් බරපතළ බව අවිවාදිතය. මේ වන විට ආන්දෝලනයට ලක් වී ඇති වයස අවුරුදු 15 දැරියකගේ අපයෝජන සිද්ධිය එයට හොඳම උදාහරණයක්.

පොලීසිය ප්‍රකාශ කරන පරිදි මෙම සිදුවීම එළිදරව් වන්නේද පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මතය. පැමිණිල්ල නොලැබුණේ නම් අදටත් මෙම බාලවයස්කාර දැරිය ලිංගික සේවා සැපයීම සිදු කරගෙන යයි. දැන් කැමති වුවත් අකමැති වුවත් පිළිගැනීමට සිදු වන්නේ ලිංගික සේවා සැපයීම ලංකාව තුළ වෘත්තියක් ලෙස ස්ථාපිත වී ඇති බවත් ඒ සදහා සම්බන්ධ වෙන විවිධ ෂානරයේ තැනැත්තන් සිටින බවත්ය. ලිංගික සේවා සැපයීම අදක ඊයෙක ඇති වූවක් නොව ඓතිහාසිකව පැවතුණකි. ලංකාව ඇතුළු පෙරදිග යනු ලිංගිකත්වය පිළිබඳ නිදහස් සංස්කෘතියක් තිබුනු සමාජයන් වන අතර ඒවා උඩු යටිකුරු වූයේ යටත්විජිතකරණය තුළ ස්ථාපිත වුනු වික්ටෝරියානු සදාචාරය සමගය.

සංස්කෘතික යැයි කියා ගන්නා අසංස්කෘතික සීමා පවත්වා ගනිමින් පිරුවටයන්ගෙන වසා සමාජය පවත්වා ගෙන යාමෙන් සිදු වන්නේ සමාජය බරපතළ ව්‍යසනයන්ට ලක් වීම පමණි. බාලවයස්කාරයන් ලිංගික අපයෝජනයට ලක් වීම එවන් බරපතළ ගණයේ මානව ඛේදවාචකයකි. එය වළක්වා ගත හැකි එකම මග නම් මේ වන විට අතිවිශාල සංඛ්‍යාවක් නිරත වී ඇති ලිංගික සේවා සැපයීමේ වෘත්තියට නිසි පිළිගැනීමක් ලබා දීම පමණි. ඒ සම්බන්ධ යම් ආකාරයක වාරණය නොවන නියාමන ප්‍රතිපත්තියක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වී ඇත. ළමුන් වෙනුවෙන් විවිධ ආයතනයන් තිබුණද මෙම ලිංගික සේවා සැපයීම ප්‍රවර්ධනය කිරීමේ නව ක්‍රමවේදය තුළින් බාලවයස්කාරයන්ට සිදු වන හා සිදු වීමට නියමිත ව්‍යසනය ඔවුන් කිසිවෙකුට නොදැනීම කණගාටුවට කරුණකි.

විවිධාකාරයේ ලිංගික සේවා සැපයීමේ කටයුතු සදහා බාලවයස්කාරයන්ට ඉහත කී පරිදි දැනටමත් ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතර එය ඉදිරියේදී තව තවත් පුළුල් වනු ඇත. එසේ නම් සමාජයක් ලෙස ව්‍යෘජ අසංස්කෘතික සීමා වලින් ඔබ්බට ගොස් ලිංගික සේවා සැපයීමේ වෘත්තියට නිසි පිළිගැනීමක් ලබා දී එය නියාමනයට ලක් කිරීම වහා සිදු කල යුතු කටයුත්තකි. එසේ නොවන්නේ නම් බාල වයස්කාර දැරියන්ගේ අපයෝජනයන් ගැන සටන් පාඨ කියමින් කඳුළු හෙළමින් බොරු මීඩියා ෂෝ දමමින් තවත් චිරාත් කාලයක් අපට සිටිය හැක.

 

Social Sharing
නවතම විශේෂාංග