ආරක්ෂක ලේකම්ගෙන් පොලිසියට රතු එළියක්

මත්කුඩු ජාවාරම්, කප්පම් ගැනීම්, පාතාල ක්‍රියාකාරකම්, ගස් කැපීම්, ගණිකා මඩම්, වැලි ගොඩ දැමීම් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා මහා පරිමාණයෙන් සිදුවනවා නම් එම පළාත් භාර උසස් පොලිස් නිලධාරීන් නිල ඇඳුමක් ඇඳ සිටීම පිලිබඳව ලැජ්ජාවිය යුතු බව ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

ඔහු කියා සිටින්නේ “තමා රාජකාරී කරන ප්‍රදේශ වල විවිධ බලවේග වලට යටත් නොවී, තමාගේ නිල ඇඳුමේ ගෞරවය රැකගැනීමට මේ නීති විරෝධී ක්‍රියා මහා පරිමාණයෙන් සිදුවීමට ඉඩ නොදෙන ලෙසය.

මේ සිදුවන වැරදි වලින් ඒ පළාත් වල සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා සියළුම පොලිස් නිලධාරීන්ට තමන්ගේ අත් සෝදා ගන්න බැරි බවත්  ඒ සියළු දෙනාම අදාල පළාත් වල අපරාධ වැඩිවීමට වගකිව යුතු බවද ඔහු පවසා ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා පොලිසියේ සියළුම පළාත් නියෝජනය කරමින් පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කැඳවා පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත.

බොහෝ පොලිස් නිලධාරීන් ඉතා ගෞරවාන්විත සේවයක් ඉෂ්ඨ කරන බවත් තමා එය ඉතාමත් අගය කරන බවත් එහෙත් සමහර නිලධාරීන් පොලිස් සේවයට අගෞරවයක් ලෙස හැසිරෙන බවත් එය කණගාටුවට කරුණක් බවත් ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී පැවසීය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙතින් මේ වසරේ අප්‍රේල් 05 වන දින නිකුත් කළ ලිපියක් මඟින් ඒ ඒ පොලිස් බල ප්‍රදේශවල සිදුවන පාතාල, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පුද්ගලයින් පිළිබඳව වාර්ථාවක් සකස් කොට කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරුන් විසින් පොලිස්පති වෙත ලබාදෙන ලෙස දන්වා සිටියත් මාස දෙකහමාරක් ගතවුවත් තවමත් එම වාර්ථාව නොලැබී ඇති නිසා ආරක්‍ෂක ලේකම්වරයා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ඒ පිළිබඳ තදින් සොයා බලන ලෙසද මෙහිදි  පැවසීය.

තම බලප්‍රදේශය කුමන දේශපාලන පක්‍ෂයකට අයත් වුණත් මහජනතාවට හිරිහැර කිරිමට ඉඩ දිය නොහැකි බවත්  ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මේවා බැලිය යුතු අතර  පුද්ගලික නාම, ලාභ, වාසි ලබාගෙන දේශපාලනයට යටත් වෙලා වැඩකරන දේශපාලකයෙක්ගෙන්  ‘හොඳ පුතා’ කියල අහගත්තා කියලා කිසිම නිලධාරියෙක් වැදගත් නිලධාරියෙක් වෙන්නේ නැතැයිද ඔහු පැවසුවේය.

ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රධාන කාරණා 10 ක් තිබෙන අතර එයින් ප්‍රධානව සදහන් කර ඇත්තේ ජාතික ආරක්ෂාව බවත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්  පත්කරන ලද සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල සාමාජයක්  ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ අරමුණත් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම නිදහසේ බියෙන් සැකෙන් තොර රටක් ඇති කිරීම බව ඔහු ඒහිදි  වැඩිදුරටත් සඳහන් කර ඇත.

Social Sharing
නවතම