එක්සත් ජාතික පක්ෂය “සම සමාජීයයි” – බාහු  

යුක්තිය, සාධාරණත්වය සියල්ලටම පොදුයි කියන මතයේ සිට බැලුවහොත් එක්සත් ජාතික පක්ෂය සම සමාජීය බව නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

ඒ නිසා ඒ පක්ෂය වටා අන්‍යාගමික පුද්ගලයින් රැසක් සිටින බවද ඔහු පෙන්වා දෙයි.

සමාජවාදය හා සම සමාජයේ වෙනස

අධිරාජ්‍ය යටතේ තැලෙන ජනතාව සහ කුලවාදී බලය උඩ රදලයින් විසින් පාගාගෙන සිටි අවස්ථාවක “සම සමාජ” කියන බලය පැමිණි බවත් සමාජවාදය කියනවාට වඩා සම සමාජ කියන වචනයෙහි අලුත් තේරුමක් ඇති බවත් ඔහු කියයි.

එනම් සියල්ලන්ම එක හා සමාන විය යුතුයි කියන එකයි. සමාජවාදය හා සම සමාජය කියන වචන දෙකෙහි වෙනසක් ඇති බවත් ආර්ථික බලය වැඩ කරන ජනතාවගේ අතට අරගෙන හදන දේ සමාජවාදය බවත් සම සමාජය යනු සාධාරණත්වය, යුක්තිය සැමටම බෙදීම බවද ඔහු විග්‍රහ කර සිටියි.

සම සමාජය යනු සමාජවාදය යන වචනයට පෙර එළියට ගත හැකි වචනයක් වන අතර මෙය බුද්ධ වචනයට සමාන බවද ඔහු පෙන්වා දෙයි.

නමුත් අද සමාජවාදී යැයි කියා ගන්නා බොහෝ දෙනෙකු බුදුන් වදාළ ප්‍රජාත්‍රන්තවාදය පිළිනොගන්නා පිරිසක් සිටින බව පෙන්වා දෙන වික්‍රමබාහු මහතා කියා සිටින්නේ මෙවැනි පරිසරයකින් මිදී අප ඉදිරියට යා යුතු බවය.

Social Sharing
නවතම