සිරස සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමති වහා ප්‍රකාශයක් කළ යුතුයි – රුවන් විජයවර්ධන

මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යයි යම් පාලන තන්ත්‍රයක් සිතනවා නම් එය විහිළුවක් බවත්  එය රබර් බෝලයක් ජලය තුළ ඔබ්බවාගෙන සිටීමට සමාන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් සිරස මාධ්‍ය ආයතනය නොරිස්සුමට ලක් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍ය මුහුණ පා ඇති වත්මන් තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

වර්තමාන රජයේ නොරිස්සුමට සිරස මාධ්‍ය ආයතනය නැවතත් ලක්ව ඇතැයි මේ වන විට තොරතුරු වාර්තා වන බවත්  සිරස මාධ්‍ය ආයතනය යනු ජනතා ප්‍රශ්න නොබියව, සෘජුව කතා කරන ආයතනයක් වන අතර ආර්ථිකය, පොහොර වැනි කාලීන ගැටළු මෙන්ම සමස්ත රටවාසීන් මුහුණ දෙන ගැටළු මෙලෙස කතා කිරීම මාධ්‍ය ආයතනයක් ලෙස ඔවුන්, ඔවුන් ගේ වගකීම නිවැරදිව ඉටු කිරීමක් බව ද ඒ මහතා එම නිවේදනයෙන් කියා සිටියි.

වැඩිදුරටත් එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

එක්සත් ජාතික පක්ෂය ඉතිහාසය පුරාම ජනමාධ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි පක්ෂයකි. ජනමාධ්‍යයෙන් වැඩිම විවේචනයට ලක්වූවේ ද එක්සත් ජාතික පක්ෂය වුව ද අප කිසි විටෙකත් මාධ්‍ය මර්දනයට උත්සාහ ගත්තේ නැත. යහපාලන රජය සමයේ මාධ්‍ය හමුවේ වැඩිම විවේචනයට ලක් වූ පුද්ගලයා අප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ය. බෞද්ධ දර්ශනයට අනුගත වූ ඔහු විවේචනයන් ඉදිරියේ කම්පා වූවේ නැත. එය උසස් ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි.

මාධ්‍ය විවේචන පිළිගැනීම රටේ අනාගතය‍ යහපත් වීම කෙරෙහි බෙහෙවින් උපකාරී වන බව අපේ විශ්වාසය යි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ 2005 – 2015 පාලන කාලය තුළ දී මාධ්‍යවේදීන් අමානුෂික පහරකෑම්වලට ලක්වූ අතර මාධ්‍ය ආයතනවලට බෝම්බ ප්‍රහාරයන් පවා එල්ල විය. එහිදී වැඩිම තර්ජනයකට ලක්වූවේ සිරස මාධ්‍ය ආයතනයයි. එහි ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිලි හදිසි ගිනිගැනීම්වලට ලක් වූ අතර බෝම්බ ප්‍රහාරයන්ට ද ලක් වී තිබුණි. සියත ආයතනට ද එම කාලය තුල ප්‍රහාරයක් එල්ල වූ අතර එම ගොඩනැගිල්ල ද ගිනි ගෙන විනාශ වුණි. අප පසු කළේ එවන් අඳුරු ඉතිහාසයකි.

යහපාලන රජය සමයේ අප කිසිවිටෙකත් මාධ්‍යයෙන් එල්ලවූ විවේචනයන්ට මර්දනයෙන් ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත. අප සැම විටම උත්සාහ කළේ නිවැරදි මාවතේ රට ගෙන යාමට පමණකි. එදා රජයේ මාධ්‍යය තුළ පවා ස්වාධීනත්වයක් ඇති කිරීමට අප උත්සාහ කළේ එබැවිනි. වත්මන් රජය බලයට පත්වූයේ මාධ්‍ය නිදහස තහවුරු කරන බවට පොරොන්දු දෙමිනි. නමුත් රජයේ ප්‍රධානීන් ව්‍යංගයෙන් මාධ්‍ය ආයතන වෙත තර්ජන, ගර්ජන කරන අයුරු අපට අසන්නට, දකින්නට ලැබුණි.

භාෂණයේ නිදහස එක්සත් ජාතික පක්ෂය සැමදා පිළිගන්නා න්‍යායකි. එමනිසා මාධ්‍ය මර්දනය නොකර ජනතා ගැටළු විසඳීමට රජය වහා මැදිහත් විය යුතු බව අප පැහැදිලිවම සඳහන් කරන්නෙමු. සිරස ආයතනය සම්බන්ධයෙන් උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වහාම ප්‍රකාශයක් කළ යුතු ය. එසේම මාධ්‍ය නිදහස තහවුරු කිරීමට කැපවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් පක්ෂයක් ලෙස අපි ඉල්ලා සිටින්නෙමු.

-ශානි-

Social Sharing
නවතම