1994 අංක 22 දරන වධහිංසාවට ලක්වූවන්ට සහය දීමේ පනතට මොකද වුනේ? – නන්දන මනතුංග පියතුමා

රජයේ පාර්ශවයෙන් වදහිංසාවට එරෙහි ව නඩු පැවරීම් මේ වන විට සිදුවන්නේ ඉතාමත් ම දුර්වල තත්වයක බවත් එනිසා වදහිංසාව පිළිබඳ නඩු නොපවරා නීතිය ක්‍රියාත්මක නොකරන පොලිස් නිලධාරීන්ට එරෙහිවත් පනතේ වගන්ති ප්‍රකාරව නඩු පැවරීම කළ යුතු බවට නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මහනුවර මානව හිමිකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (27) දින පස්වරුවේ කොවිඩ් වසංගතය තුල වදහිංසනයේ වසංගතයට ඉඩ නොතබනු යන මැයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදීය. මෙය වදහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබුණි.

මෙහිදි තවදුරටත් අදහස් දැක් වු උන් වහන්සේ,

මහනුවර මානව හිමිකම් කාර්යාලය වශයෙන්, වදහිංසාවට ලක්වූවන්ට රැකවරණය ලබා දිය යුතු බවට අප අවධානය යොමු කර තිබෙනවා. පසුගිය වසර ගණනාවක් තුළ වදහිංසාවට ලක් වූවන්  වෙත ඉතාමත්ම පැහැදිලිව හානියක් සිදු වීම මෙන්ම ඒ පිළිබඳව ඔවුන් සම්බන්ධයෙන්  නීතිමය පියවර ගත යුතුය යන තීරණයට පැමිණ සිටිනවා. ඒ පිළිබඳව කටයුතු කරන්න ඔවුන් සූදානමින් ඉන්නවා.

ඒ සඳහා Right to life වැනි මානව හිමිකම් කාර්යාලය ඉදිරිපත් වී සිටිනවා. බොහෝ මානව හිමිකම් කාර්යාල විසින් එම සිද්ධි හා  තොරතුරු රැස්කොට පොලිස් කොමිසම සහ නීතිපතිට දැනුම්දීම් සිදු කර තිබෙනවා.

නමුත් 1994 අංක 22 දරන වදහිංසාවට ලක්වූවන්ට සහය දීමේ පනත තුළ නඩු පැවරීම් සිද්ධ වෙන්නේ නැති තරම්.

ඒ නිසා තොරතුරු දැන ගැනීමේ පනත පදනම් කර ගනිමින් එවකට වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඒ යටතේ වදහිංසා සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකරන්නේ ඇයි කියා සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපතිවරයා වෙත තොරතුරු ලබා නොදෙන්නේ ඇයි කියා, අපි විමසීමක් කළා.

නමුත් පොලිස්පතිවරයාගේ පිළිතුරේ සදහන් වූනේ වදහිංසාවට පත්වූවන් වාර්තා නොවන බවයි. ඔහුගේ පිළිතුර අනුව  2015දී එක් අයෙකුවත් නැහැ, 2016දී දෙදෙනෙකු ද 2018දී දෙදෙනෙකු ද වාර් තා වී  තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයාගේ පිළිතුර අපිට සැබවින්ම පිළිගත හැක්කක් නොවෙයි.

වදහිංසා සිද්ධි සම්බන්ධයෙන් අපි පොලිස් කොමිෂම සහ නීතිපතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.

නමුත් පොලිස්පතිවරයා ඉතාමත්ම පහසුවෙන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී  ලංකාවේ වදහිංසාවට ලක් වී ඇත්තේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක් කියලා. අවුරුද්දකට දෙදෙනෙකු වැනි ඉතාමත්ම සුළු ප්‍රමාණයක් වාර්තාවන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

වින්දිතයන්ගේ තොරතරු ලබා ගෙන සෙසු මානව හිමිකම් ආයතනවල සහයෝගයෙන් ද අපි නඩු පැවරීම් සිදුකර තිබෙනවා.

නමුත් රජයේ පාර්ශවයෙන් වදහිංසාවට එරෙහි ව නඩු පැවරීම් මේ වන විට සිදුවන්නේ ඉතාමත් ම දුර්වල තත්වයක නිසා වදහිංසාව පිළිබඳ නඩු නොපවරා නීතිය ක්‍රියාත්මක නොකරන පොලිස් නිලධාරීන්ට එරෙහිවත් පනතේ වගන්ති ප්‍රකාරව නඩු පැවරීම කළ යුතු බවට නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතුයි.

මේ සඳහා සියලු දෙනාම ඒකරාශීව කටයුතු කළ යුතුයි. නැත්නම් රජය සහ නීතිපති ප්‍රකාශ කරන්න පුළුවන් ලංකාව තුළ වදහිංසා වක් සිදු වන්නේ නැහැ ඒ තුළින් පීඩාවට පත්වූවන් වාර්තා වන්නෙ නැහැ කියලා රජයේ පාර්ශවයෙන් ප්‍රකාශයක් නිකුත්වන්න පුළුවන්.

එනිසා මම සිවිල් සංවිධානවලින් ඉල්ලා සිටිනවා ඒ පිළිබඳව මෙම වර්ෂයේ දී දැඩි උනන්දුවක් දැක්වීම ඉතාමත්ම වැදගත් කියලා. ඒ පිළිබඳව අපි ඉල්ලීමක් සිදු කරමු. 1994 අංක 22 වධ හිංසාව වැලැක්වීමේ පනත යටතේ ඒ චූදිතයන්ට එරෙහිව නඩු පවරන්න කියලා..

 

මහනුවර මානව හිමිකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමා

 

 

 

නදීක දයා බණ්ඩාර

Social Sharing
නවතම