“අපි තමා හොඳටම කළේ” උද්ධච්ච කථා වලින් රට බිඳ දමන්න එපා! – පාඨලී චම්පක රණවක

ආණ්ඩුවට මොළයකුත් හදවතකුත් නැති ආකාරයෙන් ක්‍රියාත්මක වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පක  මහතා පවසයි.

වසර එක හමාරකට වඩා කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමෙන් අමාරුවෙන් ගොඩනගා ගත් සමබිම අද අහිමි වී ගොස් ඇති බව පෙන්වන ඒ මහතා පවසන්නේ ස්මාර්ට් පෝන් ඇති නැති දරුවන් ලෙසට, ඩේටා ගන්න පුලුවන් හා නැති දරුවෝ විදිහට, සිග්නල් ඇති හා නැති දරුවෝ විදිහට අද දරුවන් අතර විෂමතාවයක් මතුව ඇති බවය.

ආණ්ඩුවට මෙය පහසුවෙන් විසඳිය හැකිව තිබියදීත් එසේ නොකළ බවත් අද විශ්ව විද්‍යාල වරම් හිමි දරුවන්ට එහි යන්නට නොහැකි වී ඇත්තේද විශ්ව විද්‍යාල වල සිටින දරුවන් වසර ගණන සම්පුර්ණ කිරිමෙන් පසුවද එහි සිර වී ඇත්තේද, උසස් පෙළ දරුවන්ට අයදුම්පත් ටික ලබා දීමට නොහැකිව ඇත්තේද ආණ්ඩුවට මේ කිසි සැලැස්මක් නැති නිසා බව පාඨලී චම්පක රණවක මහතා පෙන්වා දෙයි.

ආහාර නිපදවීමේ ක්‍රියාවලියට ඇති බාධා ඉවත් කිරීම, බෙදා හැරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම යන දෙකම සිදු නොවන බවත් රසායනික පොහොර එකවර නතර කිරීම නිසා අද පොහොර හිඟයක් මතුව ඇතැයිද  මේ නිසා ඉදිරියේදී සහල්, ධාන්‍ය ආදි හැම වැවිලි ක්ෂේත්‍රයකම අර්බුදයක් ඇති වෙන්න නියමිත බවද ඒ මහතා කියා සිටියි.

ගොවියට ගොවි ද්‍රව්‍ය ටික අලෙවි කර ගැනීමේ යාන්ත්‍රණයක් නොමැති බවත් නගරයේ සිටින ජනයාට ආහාර ද්‍රව්‍ය ටික ලබා ගන්න ක්‍රමයක් නැති බවත්, අද සෑම සහල් කිලෝවකින්ම රුපියල් 40-80 දක්වා අධික ලාභයක් උපය ගන්න අද මේ වෙළෙන්දන්ට ඉඩ හැර ඇතැයි චෝදනා කරන ඒ මහතා පවසන්නේ මේ ආණ්ඩුව ඉතාම සාහසික ලෙස කටයුතු කරගෙන යන බවත් ඉදිරියේදී මේ වසංගතයට අමතරව සාගතයක් ඇති විය හැකි බවය.

ලෝකෙන්ම අපි තමා හොඳටම කළේ කියා උද්ධච්ච කථා වලින් සිදුවන්නේ රට බිඳ වැටීමක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය .

-ශානි-

Social Sharing
නවතම