GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්!

බදු නොගෙවා යුරෝපා වෙළඳපොලේ භාණ්ඩ අලෙවියට GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුරක් මතුවීමත් සමග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනයට ඇති සුදානම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

“යුරෝපා සංගමය වෙත සන්නිවේදනය කොට ඇති පරිදි, රජය සිය බැඳීම්වලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමේ ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ප්‍රයත්නය සම්බන්ධයෙන්, රජය විසින් අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම සඳහා දැනට පවත්නා නීති අධ්‍යයනය කරමින් සිටින අතර, වෙනත් අධිකරණ බලයන් විසින් අනුගමනය කරනු ලබන ජාත්‍යන්තර විශිෂ්ඨ පරිචයන් පිළිබඳව ද අවධානය යොමු කරනු ඇත.”

ශ්‍රී ලංකා රජය සිය නිවේදනය නිකුත් කර ඇත්තේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් යෝජනාව පිළිබඳ  ප්‍රකාශයක් නිකුත් කරමිනි.

වසරකට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ නඩු නැතිව රඳවා සිටි හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් විදේශ අමාත්‍යංශ ප්‍රකාශයට පසුදින අධිකරණය විසින් ඇප පිට මුදා හැර තිබිණි.

යුරෝපා හවුලේ වෙළඳපොළට පහසුවෙන් ඇතුළුවීමට වරණීය බදු සහනය (GSP+)  හරහා ශ්‍රී ලංකාවට ලබාදී ඇති අවස්ථාව මෙන්ම ත්‍රස්ත විරෝධි කටයුතු සඳහා ලබාදෙන ආධාරද අහිමිවීමේ අනතුරක් මතු වුයේ යුරෝපා පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව වඩාත් දැඩි පියවර අනුමත කරන යෝජනාවක් සම්මත කරගැනීමත් සමගයි.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටා ඇති යුරෝපා පාර්ලිමේන්තුවේදී ජූනි 10 බ්‍රහස්පතින්දා සම්මත කරගන්නා ලද මෙම යෝජනාව ත්‍රස්තවාදය වැළැක්වීමේ බියකරු පනත යටතේ සිදුවෙමින් පවතින අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් කෙරේ විශේෂ අවධානයක් යොමුකර තිබුනි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අබේසේකර මෙන්ම, දීර්ඝ කාලයක් සිරකොට තබාගෙන සිටින මානව හිමිකම් නීතිඥ හෙජාස් හිස්බුල්ලා සහ තරුණ කවීයකු වන  අහ්නාෆ් ජසීම් ද ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, නීතිඥයන් සහ ලේඛකයන් නිසි නීතිමය ක්‍රියාවලි අනුගමනය කිරීමකින් තොරව මෙන්ම යුක්තිය ලබාගැනීමට හැකියාවක් නොලැබෙන ආකාරයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීමද සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුව දැඩි කනස්සල්ල පළකර තිබුනි.

විදේශ අමාත්‍යාංශය 2021 ජූනි 14 වැනි දින නිකුත් කළ ප්‍රකාශයක් මගින් 2021 ජුනි 10 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කිරීම පිළිබඳව  කනගාටුව පළ කර ඇත.

‘ශ්‍රී ලංකාවේ තත්ත්වය, විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම්’ යන මාතෘකාවෙන් යුත් යෝජනාවේ අඩංගු කරුණු “සාවද්‍යතාවයන්ගෙන් යුක්ත” ලෙසින් හඳුන්වා  ප්‍රතික්ෂේප කරන විදේශ අමාත්‍යාංශය “ප්‍රතිසන්ධානය හා සංවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති බහුවිධ ප්‍රගතිය” පිළිබඳව සැලකිල්ලට නොගන්නා බවත් එහි අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන් සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව යුරෝපා හවුල බලවත් කනස්සල්ල පළකර තිබු  අතර, “ප්‍රජා අවකාශය සීමා කිරීම, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් බහුලව සිදුවීම, නිසි ක්‍රියාපටිපාටියට අවනත නොවී සිදුකරන රඳවා තබාගැනීම්, සුළුජාතීන් ඉලක්ක කරගනිමින් සිදුවන ක්‍රියා සහ වැඩිවෙමින් පවතින ආණ්ඩුව හමුදාකරණය” වැනි කරුණු පිලිබඳව ඉහත කී යෝජනාව හරහා අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් හෝ වෙනත් සුළුතර කණ්ඩායම් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රමානුකූලව භාවිතා කර ඇති බවට කරනු ලබන ප්‍රකාශය ලක් රජය සිය ප්‍රකාශනය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.

“සිය ව්‍යවස්ථාමය වරම හා ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සිය සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රජය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව නිශ්චිත විධිවිධාන මඟින් නීතිය ඉදිරියේ සියලු පුද්ගලයින් එක හා සමාන වන අතර නීතියේ සමාන ආරක්ෂාවක් හිමි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය මගින් ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ වෙනත් එවැනි හේතු පදනම් කොටගෙන වෙනස් කොට සැලකීම තහනම් කරයි,” යනුවෙන් විදේශ අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන්ය.

අහ්නාෆ් රිමාන්ඩ්

යුරෝපා පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව වඩාත් දැඩි පියවර අනුමත කරන යෝජනාවක් සම්මත කර සතියක් ගත වීමටත් මත්තෙන්, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) මගින් වසරකට වැඩි  කාලයක් රඳවාගෙන සිටි අහ්නාෆ් ජසීම් කවියා අධිකරණයට ඉදිරිපත් කර  රිමාන්ඩ් කර තිබේ.

ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවක් පවුලේ ඥාතීන්ට හෝ ඔහුගේ නීතිඥයා වන තමන්ට හෝ දැනුම් නොදුන් බැවින්  ඔහු වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වීමට තිබූ අවස්ථාව අහිමිවී ගිය බව නීතිඥ සංජය විල්සන් ජයසේකර  ප්‍රකාශ කර තිබේ.

මාස දහයකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු  අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය ජුනි 16 බදාදා නියෝග කළේය.

රුපියල් 25000 බැගින් වූ මුදල් ඇපයක් සහ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙසද ඔවුන්ට නියෝග කෙරිණි.

ශ්‍රී ලංකාව එකඟ වී ඇති මානව හිමිකම් පිලිබඳ වගකීම් ඉටුකර නැති බව ඔප්පු වුවහොත්, දැනට ලබාදී ඇති GSP+ සහනය හෙවත් වරණීය බදු ක්‍රමය යටත් ලබාදී ඇති සහන අත්හිටුවන ලෙස යුරෝපා පාර්ලිමේන්තුව විසින් යුරෝපා කොමිසමෙන් දැඩි ලෙස ඉල්ලා තිබුනි.

වගවීම පිළිබඳ ගැටළු විසඳීම සහ ප්‍රතිසන්ධානයෙහි අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රජය මානව හිමිකම් කවුන්සිලය මෙන්ම යුරෝපා සංගම් මැදිහත්කරුවන් ද නිරන්තරයෙන් යාවත්කාලීන කර ඇති බවයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ.

GSP+ සහනය නැවත සලකා බැලීමේ යෙදී ඇති මේ වසරේ නොවැම්බරයේදී යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස ඇගයීමට ලක්වනු ඇති අතර, එහිදී ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් ක්‍රියාවට නංවා ඇති ආකාරයද සැලකිල්ලට ගනු ඇත.

මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය සුරැකීම සඳහා වන ජාත්‍යන්තර සම්මුති මහින්ද රාජපක්ෂ පාලනය විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා 2010 පෙබරවාරියේදී අත් හිටුවන ලද වරණීය බදු සහනය (GSP+) 2017 මැයි මාසයේදී නැවත ප්‍රදානය කෙරුනේ යහපාලන රජය විසින්   මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි යන  විශ්වාසයෙනි.

Social Sharing
නවතම