රජයේ රුපියල් 5000 හා කඩිමුඩියේ නගර සියයක් සංවර්ධනය

කොවිඩ් වසංගතය හේතුවෙන් සති කිහිපයක් සංචරණ සීමා පනවා තැබීම නිසා දෛනික අදායම් අහිමි වූ, අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජුනි මස මුල සිට රුපියල් 5000 ලබා දෙන බව රජය ප්‍රකාශ කර සිටියේ ඉකුත් මැයි මස 28 දාය.

ඊට පෙර මුදල් ලබා දුන් පරිදිම ආබාධිත, වැඩිහිටි, ගොවි, සමෘද්ධි  පිරිසද අයත් විය. අද දවස ජුනි 17 දාය. අද වන විට මේ රුපියල් 5000 ලබා දී ඇත්තේ සමෘද්ධි ලාභීන්ට පමණි. ඊට අමතරව ජුනි 15 දා සිට ධිවර ප්‍රජාවට ලබා දීමට පටන් ගෙන ඇත.

වසරකට වැඩි කාලයක් පුරා කොවිඩ් වසංගතය සමඟ පෙර ඳින මෙරට ජනතාවට මීට පෙර අවස්ථා දෙකකදී සියලුම දෙනාට රුපියල් 5000 ලබා දීමට පියවර ගත්තේ ඇඳිරී නීතිය පනවා තිබු හෙයිනි. ඉන් අනතුරුව ආණ්ඩුව කඩිමුඩියේ සිංහල අලුත් අවුරුද්දට පෙර අඩු ආදායම්ලාභීන්ට කියා සමෘද්ධිලාභීන්ට රුපියල් 5000 ක් ලබා දීමට පියවර ගෙන තිබුණි.

මෙහිදි අවුරුද්දට කලින් ආණ්ඩුව නෑගම් ඇවිත් යනුවෙන් බැනර් ප්‍රදර්ශනය කරමින් රුපියල් 5000 සමෘද්ධි ලාභීන්ට බෙදා දුන්නේ සෞභාග්‍ය දැක්මේ සටහනක්ද සමගිනි.

අලුත් අවුරුද්දෙන් පසු තෙවැනි කොවිඩ් රැල්ලත් සමඟ සංචරණ සීමා පැනවීම නිසා දෛනික ආදායම් උපයන සියලු දෙනා නිවෙස් වලට කොටු විය. ඔවුන්ට දැඩි ආර්ථික අපහසුතා මතුවන්නට විය. සංචරණ සීමාව සතියෙන් සතිය දිගු වෙද්දී රජය නැවත වරක් ජනතාවට පොරොන්දු දුන්නේ 5000 දෙන බවටය.

නමුත් අද වන විට එය සමෘද්ධි නැති පිරිසගේ හීනයක් බවට පත්ව ඇත. ඔවුන් පහුගිය දින කිහිපය පුරාම බලා සිටියේ රුපියල් 5000 රැගෙන හෝ නිවෙස් වල අඩුපාඩු පිරිමසා ගැනිමටය. නමුත් එය දැන් බොඳව යමින් ඇත. රජයද මේ 5000 ගැන දැන් කථා කරන්නේත් නැත.

මේ අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි රට පුරා නගර සියයක් එකවර අලංකරණය කර සංවර්ධනය කිරීමට තීරණය කර ඇත.

මීට අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන ඇති අතර වසර ගණනාවක් තිස්සේ නිසි සංවර්ධනයකට ලක්නොවූ නගර මේ යටතේ අලංකාර කර සංවර්ධනය කිරීමට නියමිතය.

මෙහිදී එක් නගරයක් සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 20 ක් වෙන්කෙරෙන අතර නගර 100 සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 2000 ක් බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණි.

මේවා දකින විට රජයෙන් අසන්නට ඇත්තේ මේ අවස්ථාවේ නගර අලංකරණයද වැදගත් දුප්පත් ජනතාවගේ කුස ගින්න නිවීමද යන්නය. ඔවුන්ට මේ සඳහා වැය කරන මුදල් වලින් අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් යමක් කිරිමේ හැකියාව තිබියදී එසේ නොකරන්නේ මැතිවරණයක් ළඟ නැති නිසා විය හැකිය.

-ශානි-

Social Sharing
නවතම