CID ය නීතියට පිටින් වැඩකරන බවට චෝදනා!

රටේ පවතින නීතිය ඉක්මවා යමින් කටයුතු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වී තිබේ.

අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කළ සැකකරුවකුට රැඳවුම් නියෝග ලබා ගැනීමට ඉල්ලුම්  කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතියේ “නැති ප්‍රතිපාදන ඔස්සේ” කටයුතු කර  තිබෙන බව සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් පවසයි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ඒ බව සදහන් කළේ ජුනි 16 බදාදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

නීතිඥයා‌ පවසන පරිදි පසුගිය දිනෙක අත්අඩංගුවට ගත් පල්ලේවත්ත ගමගේ  චමින්ද දිල්රුක් යන සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත රිමාන්ඩ් කර සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැඳවුම් නියෝග ඉල්ලා  තිබේ.

රටේ පවතින නීතියට අනුව කටයුතු කරන ලෙස පොලීසියෙන්  ඉල්ලා සිටි නීතිඥ සේනක පෙරේරා  රැදවුම් නියෝග ඔස්සේ තබාගත් සැකකරුවන්ට පසුගිය කාලයේ අත්වු ඉරණම ද සිහිපත් කළේය.

අත්අඩංගුවේ සිටි තම සේවාදායකයකුගේ ජීවිතයට ඇති තර්ජනය සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයා විසින් පොලීසිය දැනුවත් කර තිබියදීත් ඔහු ඝාතනය වු ආකාරයත් නීතිඥ සේනක පෙරේරා මාධ්‍ය හමුවේදී සිහිපත් කළේය.

රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක  නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි  විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත්  එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා  ඝාතනය කර  තිබුනි.

ඊට පෙර දිනයේ දිනිත් මෙලන් මාබුල පොලිස් භාරයේ සිටියදී ඝාතනය කර තිබුණි

රැදවියන්ගේ ජීවිත වලට දිගින් දිගටම  එල්ල වී තිබෙන අනතුරුදායක තත්වයන් වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය වසරේ නිවේදනය කර තිබුනේ 2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේ මරණ අටක් වාර්තා වී ඇති බවයි.

තාරක ධර්මකීර්ති විජේසේකර සහ දිනෙත් මෙලන් මාබුල යන  දෙදෙනා ආයුධ පෙන්වීමට රැගෙන ගොස් ඝාතනය වීමෙන් පසු තවත් පුද්ගලයන් තිදෙනකුගේ මිය යාම් සම්බන්ධයෙන් මසක්  තුලදී  පොලීසියට චෝදනා එල්ල වී තිබේ.

ඒ අවුරුදු 49 ක් වයසැති ඩී.සුනිල් ඉන්ද්‍රජිත් නමැති තුන්දරු පියා,  අවුරුදු 22 ක් වයසැති චන්ද්‍රන් චන්ද්‍රන් විදුෂන් නමැති තරුණයා සහ අවුරුදු 48 ක් වයසැති මොහොමඩ් අලි ඛාන් නමැති දෙදරු පියාගේ මරණ සම්බන්ධයෙනි.

 

Social Sharing
නවතම