ලොක්ඩවුන් කාලයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යයි!

වසංගතයට සම්බන්ධ ලොක් ඩවුන් කාලය අතරතුර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙහි වින්දිතයින් මුහුණ දෙන අභියෝගයන් කෙරෙහි කඩිනම් අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක කර ගත් ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික සංසදය රජයෙන් ඉල්ලා සිටියි.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පුළුල්ව පැතිර පවතින මානව හිමිකම් උල්ලංඝණයක් ලෙස වසංගතයට පෙර පවා ගෝලීයව පිළිගෙන තිබු අතර  ‘ COVID-19 පැතිරීම වැළැක්වීමේ ප්‍රයත්නයක් ලෙස, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සංචරණ සීමා, නිවසේ රැඳී වැඩකිරීමට උපදෙස් සහ අධිකරණයට සීමිත ප්‍රවේශය වැනි සීමා යොදා තිබීම නිසා  ඍජුවම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙහි විවිධාකාර වැඩිවීමකට හේතුවී ඇති බව එම සංසදය කියා සිටියි.

වින්දිතයින්ගේ ජීවිතවලට පෙර නොවූ විරූ අභියෝග එල්ල කර ඇති බව පෙන්වා දෙන එම සංසදය පවසන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා ‘ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙහි තැති ගන්වන සුළු ගෝලීය වැඩිවීම’ පිළිගෙන ‘නිවස තුළ සටන් විරාමයක්’ ඉල්ලා ඇති බවය.

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක කර ගත් ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික සංසදය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇති අතර වැඩිදුරටත් එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

2020 මාර්තු මස වසංගතය ආරම්භයේ සිට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සහාය සේවා සඳහා වැඩි ඉල්ලුමක් තිබී ඇති අතර, ජාතික සංසදයේ සාමාජිකයින් විවිධ ආකාර වලින් ප්‍රතිචාර දක්වා ඇත. රජය විසින් පැය 24 ක් පුරාවට ජාතික හදිසි ඇමතුම් අංකයක් ලෙස 1938 ක්‍රියාත්මක කිරීමෙන් දැක්වූ ප්‍රතිචාරය අපි අගය කර ප්‍රශංසා කරන අතර, ක්‍ෂණික අවධානය අවශ්‍ය කරන තවත් අභියෝග තිබේ. ගැටළුව වන්නේ ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීමෙන් බරපතල හානියක් හෝ මාරක විපත් ඇතිවීමට හේතු විය හැකි බවයි.

ආරක්‍ෂා කිරීමට ඇති නෛතික බැඳීම 2005 ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනතෙහි සහ 2015 අංක 4 දරන අපරාධවල වින්දිතයින්ට සහ සාක්‍ෂිකරුවන්ට සහාය වීමේ සහ ආරක්‍ෂා කිරීමේ පනතෙහි පිළිබිඹු වී ඇත.

වර්තමාන අභියෝගය වන්නේ මෙම සිද්ධීන්ට, විශේෂයෙන් පළමුව ප්‍රතිචාර දක්වන්නන් විසින් ප්‍රායෝගික සහ ඵලදායී ප්‍රතිචාර ලබාදීම යි. අප සැළකිලිමත් වන්නේ, ප්‍රචණ්ඩත්වයෙන් මිදුණු පුද්ගලයින් තුළ බිය, දොස් පැවරීම සහ නින්දාවට හේතුවන වින්දිත කතාවස්තු විශ්වාස කිරීමට අපොහොසත් වීම, ඔවුන්ගේ අපයෝජකයින් වෙත ආපසු පැමිණෙන ලෙස වින්දිතයින්ගෙන් ඉල්ලා සිටීම සහ ඔවුන්ට සහාය සහ යොමුකිරීම් ලබාදීමට අපොහොසත් වීම වැනි සිද්ධීන් පිළිබඳව ය.

අපි, ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක කර ගත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව කටයුතු කරන රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වල ජාතික සංසදය ලෙස පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරමු.

(i) නීතිය බලාත්මක කරන සහ සමාජ සේවා තුළ අදාළ බලධාරීන් වසංගතයට විශේෂිත වූ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව සම්මත ප්‍රෝටොකෝලයන් කඩිනමින් භාවිතයට ගැනීම. සහාය සඳහා වන ඉල්ලීම් වලට කඩිනම් ප්‍රතිචාර දැක්වීම, ප්‍රචණ්ඩත්වයෙන් මිදුණු පුද්ගලයින් හට සංචරණ සීමා කාල තුළ අපවාදාත්මක නිවෙස්වලට ආපසු යාමට හෝ පරීක්‍ෂණ වලට සහභාගි වීමට බලකිරීමෙන් බර පැටවීම හෝ යළි වින්දිත බවට පත්වීම සිදු නොවන බව සහතික කිරීම, ප්‍රචණ්ඩත්වයෙන් මිදුණු පුද්ගලයින් හට වෛද්‍ය ප්‍රතිකාර, නිල වාර්තා තබා ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් මඟින් පරීක්‍ෂා කිරීම වැනි සහාය ලබා දීම, සහ මේ කාලය තුළ රැකවරණය, සහාය සහ ආරක්‍ෂාව සපයන රජයේ සහ පෞද්ගලික ආයතනවලට යොමු කරන බවට සහතික වීම.

(ii) රටෙහි අධිකරණ අංශය ප්‍රමාදයෙන් තොරව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනතට අනුව හදිසි ආරක්‍ෂණ නියෝග අවශ්‍ය කරන්නාවූ ප්‍රචණ්ඩත්වයෙන් මිදුණු පුද්ගලයින් සඳහා, මාර්ගගත අයැදුම් පත් (online application)මඟින් එවැනි නියෝග ලබා ගැනීමට යාන්ත්‍රණයක් යෙදවීම. වගඋත්තරකරුවන්ට ආරක්‍ෂණ නියෝග සන්නිවේදනයට, සහ එවැනි ආරක්‍ෂණ නියෝග අධීක්‍ෂණයට සහ කඩකිරීම් වලට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා පොලීසියේ සහාය.

(iii) දේශපාලනික සහ පරිපාලනමය කාර්යාලවල නායකයින් ප්‍රචණ්ඩත්වයෙන් මිදුණු පුද්ගලයින්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමේ සහ ආරක්‍ෂිත සහ විනිශ්චය කිරීමෙන් තොර ආරක්‍ෂාව සපයා දීමේ වැදගත්කම ඉස්මතු කර දැක්වීම මේ අවස්ථාවේදී තීරණාත්මක වේ.

මේ කාලය අතරතුර අත්විඳින ප්‍රචණ්ඩත්වයෙහි බලපෑම දිගුකාලීන සමාජ-ආර්ථික පිරිවැය සහ අන්තර්-පරම්පරා ප්‍රතිවිපාක ඇතිකළ හැකි බව සිතෙහි තබා ගනිමින්, ප්‍රසිද්ධ පණිවුඩ සහ ක්‍රියාමාර්ග සඳහා ඇති හදිසි අවශ්‍යතාව කියාපෑම අතිශයෝක්තියක් නොවේ. එවැනි පණිවුඩ සහ ක්‍රියාමාර්ග සහාය අවශ්‍ය පුද්ගලයින්ට වෙනසක් ඇති කරන අතර, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් මිදුණු පුද්ගලයින්ට සහාය වීමට ප්‍රජාවන් දිරිමත් කර සවිබලගන්වනු ඇත. මෙම වෙනස ඇති කිරීමට අපි එක්ව කටයුතු කරමු.

Social Sharing
නවතම