ඇමතිවරු නා ගත් ගම්පහ ගංවතුර!

පහුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ නගරය මාසයක් වැනි කෙටි කාලයක් තුල දෙවරක් වැසි ජලයෙන් යට විය.

ගම්පහ නගරයේ ගම්පහ-ජා ඇල බස් නැවතුම්පල ප්‍රදේශය, ගම්පහ-කොළඹ බස් නැවතුම්පොල, පරණ පොලිසීය,  පබ්ලික් සිනමාශාලා ප්‍රදේශය, රෝහල හංදිය, ගම්පහ තානායම ප්‍රදේශය, ගම්පහ-මිනුවන්ගොඩ අලුත් පාර ආදී ප්‍රදේශ රැසක් මේ වැසි ජලයෙන් යට විය.

වෙනදා නොදුටු ආකාරයෙන් වැසි ජලය රැස් වීමක්, ගං වතුර තත්ත්වයක් මෙවර ගම්පහ පැවති අතර ජලය බැස යාමද පැවතියේ ඉතාම අවම මට්ටමකය.

මෙහිදී ගම්පහ ජනතාව චෝදනා කර සිටියේ ගම්පහ හරහා ඉදි කෙරෙන මධ්‍යම අධිවේගී කටයුතු වලට වෙල් ගොඩ කිරීම මෙම ගංවතුර තත්ත්වයට හේතු වූ බවය. වෙනදා යට නොවූ ප්‍රදේශ පවා මෙවර වැසි ජලයෙන් යට වී ගියේ ජනතාව අසරණ කරවමිනි.

මේ නිසා ඔවුන් ගම්පහ සිටින මැති ඇමතිවරුන්ගේ දෙමාපියන් පවා මතක් කරමින් බනින්නට විය. ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒ්කකය මේ සියලු අභියෝග වලට මුහුණ දෙමින් ජනතාවට අවැසි සහන, අවතැන් වුවන් බේරා ගැනීම නාවික හමුදාව, පොලසීසියේ සහායෙන් සිදු කළහ.

මේ අතර ග්‍රාම නිලධාරීන් හරහා පිසු ආහාර ලබා දීමටද කටයුතු කර තිබු අතර ගම්පහ නගරාධිපති එරංග සේනානායක හැර වෙනත් කිසිදු දේශපාලඥයෙකු මේ අවස්ථාවේ ජනතාවගේ පිහිටට පැමිණ තිබුණේ නැත.

ගම්පහ සිට අලුත් මිනුවන්ගොඩ මාර්ගයේ මෙන්ම පරණ මිනුවන්ගොඩ පාරේ ගමන් කරන ඕනෑම අයෙකුට මේ දිනවල දැකිය හැකි දසුනක් වන්නේ වෙල් යායවල් ගොඩ කරමින් මාර්ග සාදා ඇති අයුරුය. වෙනදා ජලය බැස යාමට තිබු ඇල මාර්ග රැසක් මේ නිසා අවහිර වී ඇත.

අත්තනගලු ඔයේ ජලය ජා ඇල හරහා ගොස් කලපුවට ගමන් කෙරෙන අතර මෙවර ජා ඇල ග්‍රාමසේවා 57 න් 36 ක්ම ජලයෙන් යට විය. එසේම ගම්පහ ජලය බැස යාමේදී කොටුගොඩ, මිනුවන්ගොඩ, මුතුවාඩිය, කලහපිටිය,මාදුව ආදී ප්‍රදේශ ද ජලයෙන් යට විය.

මෙහිදී බොහෝ දෙනා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයෙන් ඉල්ලා ඇත්තේ වත්තල හෝ මීගමුවේ මෝය කට කපා ජලය බැස යාමට සලස්වන ලෙසටය. නමුත් මෙවර මෝය කට පළල් කිරීමට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ක්‍රියා කළේ නැත. ඒ දැනටමත් විශාල වශයෙන් මෝය කට කපා ඇති නිසාත් තවත් කැපුවහොත් මුහුදු ජලය මෙරටට ඇතුල් වීමේ ඇති අවදානමත් සැලකිල්ලට ගනිමිනි.

විශේෂයෙන්ම මෙම ගංවතුර ත්ත්ත්වයට පෙර සඳහන් කර පරිදි අධිවේගී මාර්ග කටයුතු හේතු වුවා මෙන්ම මුතුරාජ වෙල වගුරු බිමේ අනවසර ගොඩ කිරීම්ද මෙයට හේතු වී ඇත. මේ වන විට මුතුරාජවෙල වගුරු බිමෙන් හෙක්ටයාර් 750 ක් ගොඩ කර ඇති අතර තවත් ගොඩ කෙරෙමින් පවතින බවද පැවසේ.

පහුගිය දිනෙක අමාත්‍ය නිමල් ලාන්සා ප්‍රකාශ කර තිබුණේ ගම්පහ ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව වන සංරක්ෂණ නිලධාරිනි දේවානි ජයතිලක බවය. ඒ ඇය අධිවේගී මාර්ගය තැනීමේදි ඉවත් කළ යුතු ශාඛ ඉවත් කිරීමට ඉඩ නොදීම මේ ගංවතුර තත්ත්වයට හේතු වු බවට ඔහු චෝදනා කරමිනි.

නමුත් මේ වන විට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ වෙනත් කථාවකි. ඒ මේ අධිවේග මාර්ගය කණු මතින් ගෙන යාමට සැලසුම් කර තිබියදී යහපාලන ආණ්ඩුව විසින් එහි සැලැස්ම වෙනස් කිරිම නිසා මේ තත්ත්වය ඇති වු බවය.

නමුත් මිනුවන්ගොඩ, දිවුලපිටිය කපන පස් කඳු වල පස් කියුබ් ටෙන්ඩර් / කොන්ත්‍රාත් හරහා මේ අධිවේග මාර්ග වල ගොඩ ගසන්නේ කාගේ ආශිර්වාදය මතදැයි කිසිවෙකුත් කථා කරන්නේ නැත.

කෙසේ නමුදු ගම්පහ ජනතාවගේ දැඩි විරෝධය හමුවේ මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ අධිවේගි  මාර්ගයේ ඉදිකිරීම් සැලැස්ම යළි සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹෙන තුරු ඉදිකිරිම් තාවකාලික ව අත්හිට වූ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පෙරේදා (13) දින ප්‍රකාශ කර තිබුණි.

ඔහු පවසා තිබුණේ මේ තත්ත්වයට සම්පුර්ණයෙන්ම යහපාලන රජය වගකිව යුතු බවය.

නමුත් අමාත්‍යවරයාගේ ප්‍රකාශය අසත්‍යයක් බවත් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන බවද මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අමාත්‍යාංශ ලේකම්වරයා පවසන ආකාරයට ගම්පහ ගංවතුරට හේතු වී ඇත්තේ ඉතා කෙටි කාලයක් තුල මිලි මිටර් 300 ඉක්මවා අධික වර්ෂාපතනයක් ලැබීම, ප්‍රදේශයේ ජලය බැස යාම සඳහා ඇති ඇල මාර්ග, කාණු පද්ධති ප්‍රතිසංස්කරණය නොකිරීම, දුම්රිය මාර්ගයේ ජලය බැස යාමේ අවහිරතාය.

-ශානි-

Social Sharing
නවතම