සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා බිඳ වැටීමෙන් රෝගීන් අමාරුවේ!

සෞඛ්‍ය අමාත්‍යාංශය හා පැවති සාකච්ඡා බිඳ වැටීම හා සෞඛ්‍ය අමාත්‍යවරියට අදාල සේවක ගැටළු වලට නිශ්චිත විසඳුම් ලබා දීමට නොහැකි වීම මත අද (11) පෙරවරු 7 සිට දහවල් 12 දක්වා  සියලු සෞඛ්‍ය සේවාවලින් ඉවත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පියවර ගන්නා ලදි.

ඒ අනුව වෛද්‍ය රාසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 28 ක් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කර තිබුණි.

මෙම වෘත්තිය ක්‍රියා මාර්ග පිළිකා රෝහල්, මාතෘ රෝහල්, ළමා රෝහල් වල කිසිඳු අයෙක් සහභාගි කර නොගෙන තිබූ අතර කොවිඩ් මර්දන වැඩ පිලිවෙලටද බාධා නොවන අයුරින් සිදු කරන ලදි.

කෙසේ වෙතත්, මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අද උදෑසන ජාතික රෝහල හා අක්ෂි රෝහල ඉදිරිපිටතදී දැක ගන්නට හැකි වූයේ දුර බැහැර ගෙවා පැමිණි රෝගීන් විශාල පිරිසක් මහත් අසීරුතාවට පත් වූ අයුරුය.

 

මේ අවස්ථාවේ කිසිඳු වර්ජනයකට යාමට උවමනාවක් නොතිබුණු බවත් නමුත් වෛද්‍ය වෘත්තිකයින්ට පමණක් දීමනා වැඩි කිරීම වැනි කටයුතු සිදු වෙද්දී සෞඛ්‍ය අනෙක් අංශ ගැන කිසිඳු අයෙක් අවධානය යොමු කර නැතැයිද වෛද්‍ය රාසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

වෛද්‍ය පරිපාලනය තමන්ගේ හැන්දෙන් තමන්ට බෙදා ගන්නා ක්‍රියාවලියක නිරත වන බවත් රටක් ලෙස තීරණ ගැනීමේදී ගන්නා තීරණ ගැන සෑහීමකට පත් විය නොහැකි බවද ඔහු කියා සිටියේ අද (11) වර්ජනයට එක් වෙමිනි.

සෞඛ්‍ය සේවයේ තීන්දු සෞඛ්‍ය අමාත්‍යාංශය අමතක කර හමුදාපතිවරයා හෝ ජනාධිපතිවරයාගේ හෝ යම් දේශපාලඥයෙකු විසින් ගනු ලබන්නේ මේ සෞඛ්‍ය සේවයේ පවතින දුර්වලතාවය නිසා බවත් අද කොවිඩ් විද්‍යාත්මක දත්ත රැස් කිරීමක් නොකෙරෙන බවද ඔහු පෙන්වා දෙයි.

-ශානි-

Social Sharing
නවතම