සංචාරක / හෝටල් අර්බුදය දික් ගැස්සේ!

සංචාරක ක්ෂේත්‍රය වනාහී ලංකාවට විදේශය විනිමය ලබා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයකි. නමුත් ගෝලීය කොවිඩ් වංසගතයත් සමඟ සංචාරක ක්ෂේත්‍රය බිඳ වැටීමට ලක් විය.

විශේෂයෙන්ම විදේශිකයින් පැමිණීම සීමා කිරීම මත ලංකාවේ බොහෝ සංචාරක හොටල් වසා දැමුණි. මේ අතර තවත් හොටල් නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනුණි. මෙහිදී හෝටල් වල මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නියුතු බොහෝ දෙනෙකුට සිදු වුයේ ගෙදර යෑමටය. රැකියා අහිමි වීම මත ඔවුන්ගේ ජිවිත අවිනිශ්චිතභාවයකට ලක් විය.

සංචාරක ක්‍ෂෙත්‍රයත්, එහි ඍජු සේවයේ නියුතුව සිටින 180000 ක් ඇතුළුව වක්‍ර සේවාවන් හී යෙදෙන 400000 කට වැඩි පිරිසක් ද සේවාව සපයන මෙම ක්‍ෂෙත්‍රයේ සමස්තයක් වශයෙන් ගත් කළ 600,000 ක් පමණ සේවයේ යෙදී සිටී. විවිධ අවස්ථාවන් හී රට තුළ රැළි ලෙස පැමිණි කොවිඩ් වසංගත තත්වය හමුවේ ඔවුන් ආර්ථික අර්බූදයකට සහ ජීවිත අවදානමකට ලක්විය.

මේ නිසා හෝටල් සේවක මධ්‍යස්ථානය සංචාරක අමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  වෙත ලිපියක් යවා ඇත. ඒ කොවිඩ් වසංගත තත්වය හමුවේ සංචාරක ක්ෂේත්‍රය සහ සේවක රැකියා සුරක්‍ෂිත කර ගැනීමටත්, එය කාර්මික ආරවුලක් සේ නොසලකා හෝටල් සේවකයින් පීඩාවට පත් නොකර සියලූ හෝටල් සේවකයින් මෙන්ම සංචාරක ක්‍ෂෙත්‍රයත් රැකගැනීම වෙනුවෙන් රජයේ මැදිහත් වීම වහාම  ලබා දෙන ලෙස ඉල්ලීම් කරමිනි.

මෙම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ වාර්ෂිකව රු.මිලියන 4500 ක් පමණ අප රට තුළට ගෙන එන, එමෙන්ම අප රටේ ජාතික ආදායමට 4.3%ක් උපයා ගැනීමට දැඩි කැපවීමක් සිදුකළ මෙම 600,000ක් පමණ වූ හෝටල් සේවයේ යෙදෙන්නන් මෙන්ම හෝටල් හිමියන්ටත් සහන සලසමින්, මෙම ව්‍යාපාරය නගා සිටුවීම සඳහා රජය කඩිනමින් මැදිහත් විය යුතු බවය.

ලෝක වසංගත තත්වයක් වූ කොවිඩ් 19 වෛරසය අප රට තුළ 2020 මාර්තු සිට පැතිරීම ඉහල යාමත් සමග ලොව අනෙකුත් රටවල් මෙන්ම එයින් රටත් ජනතාවත් ආරක්‍ෂාකර ගැනීම රජයේ මූලික වගකීමක් බවත් මේ සම්බන්ධයෙන් මෙයට පෙර ද අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානය ලෙස ලිඛිත දැනුම් දීම් සිදු කළද තවම නිසි විසඳුමක් ලබා දී නොමැති බව මෙම ලිපියේ පවසා ඇත.

එමෙන්ම සෞඛ්‍යමය තත්වයන් ද්විතීය කරමින් හෝටල් තුල සංචාරකයින් සඳහා සේවා සැපයීමේදී සහ අදටත් ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන හා හෝටල්, රෝහල් බවට පත්කිරීමත් සමග සේවකයින් බරපතල අවදානමකට වර්තමානයේදී ගොදුරු වී ඇති බවත්  මෙම අවදානමෙන් ඔවුන් මුදවා ගැනීම සඳහා ප්‍රමුඛතාවය ගෙන එන්නත් ලබාදීම හෝ තවමත් සිදුව නැති බවත් පෙන්වා දෙන හෝටල් සේවක මධ්‍යස්ථානය පවසන්නේ  මේ වනවිට බොහෝ හෝටල් සේවකයින් හට කොවිඩ් රෝගය වැළඳීමෙන් බොහෝ සේවකයින් හට රැකියා අහිමි වීමෙන් හා ආදායම් අහිමි වීමෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇති බවයි.

එබැවින් මෙම ත්ත්වය පහව යනතුරු  සියලූ හෝටල් සේවකයන් හට රු. 15000/= ක අන්තර් දීමනාවක් ලබාදීම,  කොවිඩ් එන්නත හෝටල් සේවකයින් හට ප්‍රමුඛස්ථානයේ ලා ලබාදීම, ලබාගත් බැංකු ණය පොලී එකතු නොකර කාලය දීර්ඝ කර දීම,  2020 වනවිට සේවයේ නියුතුව සිටි සියලූ හෝටල් සේවකයින් සඳහා වැටුප් කප්පාදුවකින් තොරව ලබාදීම, ජීවිත රක්‍ෂණයක් ලබාදීම යන සහන ලබා දීමට කටයුතු කරන ලෙස සංචාරක අමත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

-ශානි-

Social Sharing
නවතම