ආණ්ඩුව චීනේන් හාල් ගේන සැලසුමක්ද? –  පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර

අපේ නිෂ්පාදන අඩු කර වරාය නගරය විකුණන්න යනවා වගේ, රට උකස් කරලා ණය ගත්තා වගේ චීනෙන් හාල් ගේන්නද මේ රජය කටයුතු කරමින් සිටින්නේ යැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විමසයි.

වසරක් ඇතුලත ලංකාව සම්පුර්ණයෙන්ම කාබනික පොහොර භාවිතයට පරිවර්තනය කිරීමට ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් කල්පනා කරන බවත් මෙයින් ගොවියා අසරණ වෙන බවද ඒ මහතා පවසයි.

මෙරට ගොවීන් 30% ක් සිටින බවත් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 20% සිට 6.05% දක්වා අද අඩු වී ගොවියා දුප්පත් වී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

ලෝකයේ සම්පුර්ණ කාබනික පොහොර වලට හැරවු කිසිම රටක් නැති බවත් ලෝකයේ ඉඩම් වලින් කාබනික පොහොර වලින් වගා කරන්නේ 1.05% ක් විතරක් බවත් ඒ අතරින්ද 60% ක් තෘණ වගාව සඳහා යොදවන්නේ යැයි රංජිත් මද්දුමබණ්ඩාර මහතා පෙන්වා දෙයි.

හරිත විප්ලවයෙන් පටන් ගත් රසායනික පොහොර නිසා අද වන විට හෙක්ටයාරයකින් ගන්නා වී නිෂ්පාදනය සිව් ගුණයකින් වැඩි වී ඇති බවත් 1950 මේ රටේ වී නිෂ්පාදනය කර ඇත්තේ හෙක්ටයාරයකට ටොන් 0.9 ක් පමණක් බවත් ඔහු පවසයි.

රජය මේ ක්‍රියාවලිය පියවරෙන් පියවරට නොයා එකවර කිරීමට ගියහොත් වී 40% ක නිෂ්පාදනය අඩු වෙන බවත් එසේ වූ විට සහල් මිල යනු ඇති බවත් සාගතයකට මුහුණ දීමට සිදු වන බවද ඔහු අවධාරණය කර සිටියි.

2019 පොහොර ටොන් ලක්ෂ 07 ක් ගෙනවිත් ඇති බවත් අද වන විට ඇස්තමේන්තු කර ඇත්තේ පොහොර ටොන් ලක්ෂ 12 ක් අවශ්‍ය බවත් ඔහු පවසයි.

මේ විදිහට ගියහොත් පිටරටින් සහල් ගේන්න සිදු වෙන බවත් පවසන ඔහු පෙන්වා දෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරු දෙදෙනාම ඉවත් වූයේ මෙයට විරුද්ධ වූ නිසා බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (08) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

-ශානි-

Social Sharing
නවතම