එන්නත දේශපාලඥයාගේ නොව ජනතාවගේ අයිතියක් – සිරිතුංග ජයසුරිය

මේ රට තීරණාත්මක, බරපතල අර්බුදයකට ආණ්ඩුව විසින් ඇද දමා තිබෙන බවත් නමුත් ආණ්ඩුව ජීවත් වන්නේ කිසිම අර්බුදයක් නැති ගානට බවත් එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංගත ජයසුරිය මහතා පවසයි.

ආණ්ඩුව කොරෝනා වසංගතයක් කරගෙන ඒක ඔවුන්ට අවශ්‍ය වෙලාවට උස්සන බවත් අනෙක් වෙලාවට  පහලට දාන බවත් දැන් මෙය සෙල්ලමක් කරගෙන සෙල්ලම ලෙල්ලමක් බවට පත්ව  ඇති බවටද ඔහු චෝදනා කර සිටියි.

එසේම එන්නත්කරණයේදී වයස අවුරුදු 60 ට වැඩි අයට ලබා දෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබුණත් මේ රටේ එසේ ප්‍රමුඛත්වයක් ලබා නොදුන් අතර දැන් වන විට මේ එන්නත මුදල් ඉපයීමේ, කොමිස් ගැසීමේ ජාවාරමක් බවට පත් කරගෙන ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

එන්නත දැන් දේශපාලන ප්‍රචාරක කටයුතු වලට යොදවාගෙන ඇති බව පෙන්වා දෙන ඔහු පවසන්නේ මේ එන්නත දේශපාලඥයාගේ නොව ජනතාවගේ අයිතියක් බවය.

මෙය මන්ත්‍රීවරුන්ගේ සාක්කුවකින් ලබා දෙන එන්නත් නොවන නමුත් මේ වන විට ඔවුන් සිය මුහුණු දමාගෙන බෝඩ් ගසාගෙන එන්නත් කරන අවස්ථාව බැලීමටද යන ත්ත්වයකට පත්ව ඇති බව පවසන සිරිතුංග මහතා පෙන්වා දෙන්නේ ඔවුන් එසේ යාමට අවශ්‍ය නොවන බවය. මන්ද මෙය දේශපාලනයෙන් ජනතාවට ලැබෙන දෙයක් නොවන නිසා බවය.

එදා මේ ආණ්ඩුවේ අය එන්නත වැඩක් නැති බව පැවසු බවත් අද එන්නත හිඟා කන බවත් හරිනම් මේ ආණ්ඩුව ඉල්ලා අස් වී ගෙදර යා යුතු බවය. මොවුන්ට මේ රටේ සියලු ජනතාවට මේ වසර අවසාන වන විට එන්නත ලබා දීමේ හැකියාවක් නැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

-ශානි-

Social Sharing
නවතම