විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මාධ්‍යවේදීන්ගේ දැඩි අප්‍රසාදයට!

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් ‘තර්ඩ් ක්ලාස් වැඩ කළ’ මාධ්‍යවේදීන් යැයි කළ අපහාසය සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රජාවගෙන් සමාව ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වෙත ලිපියක් යවමින් මාධ්‍ය සංවිධාන එකතුව විසින් කියා සිටියි.

මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසඳය හා දෙමළ මාධ්‍ය සංසදය විසින් මෙම ලිපිය යවා ඇත.

ඉකුත් ජූනි මස 03 වැනිදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ මූලික අදහස් දැක්වීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කෝපයෙන් යුතුව මේ ප්‍රකාශය කර ඇත්තේ,  එදින තේමාවට අදාළ නොවන ගැටලුවක් සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ,  මාධ්‍යවේදියකු ඉලක්ක කර ගෙන බවත් කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පෙනී සිටිමින්, අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන්ට ඔබ කර ඇති අපහාසය හා නිග්‍රහය සුළු කොට සැලකිය නොහැකි බවද  එම ලිපියෙන් කියා ඇත.

ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඩ නගන මාධ්‍ය ප්‍රජාව මෙන්ම ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා ද මෙයින් බලවත් හිත් රිදීමකට ලක් වී ඇති බවත් ජනතාවට මෙන්ම රටට සිදුවන අයහපත සම්බන්ධයෙන් වැඩ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ එම මාධ්‍යවේදීන්ට ඔබ කර ඇත්තේ බලවත් අපහාසයක්,නිග්‍රහයක් බවත් මාධ්‍ය සංවිධාන එකමුතුව කියා සිටියි.

ඉතිහාසය පුරා මාධ්‍යවේදීන්ට සිදුවූ අපරාධ (ඝාතන, අතුරුදහන් කිරීම්, ප්‍රහාර)  සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවී ඇත්තේ ද, ඔවුන් විසින් කළ කාර්ය භාරයන් වැළැක්වීම සඳහා, ඒවා හිතා මතා සැලසුම් කළ අපරාධයන් නිසා බව විශ්වාසය කරන බවත්  මේ වන විට සමාජගත වී ඇති ඔබගේ ප්‍රකාශයෙන් අගතියක් සිදුවූ අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන් හා හිත් රිදීමට ලක්වූ ඔවුන්ගේ පවුල්වල අයගෙන් මෙන්ම මාධ්‍ය ප්‍රජාවගෙන්  සමාව ගැනීම වගකිවයුතු නිලධාරියකු වශයෙන් ඔබගෙන් ඉටු විය යුතු යුතුකමක් සේ සලකන බව මාධ්‍ය සංවිධාන එකතුව වැඩිදුරටත් ලිපියෙන් අවධාරණය  කර සිටියි.

-ශානි-

Social Sharing
නවතම