සයිබර් ප්‍රහාරයක් ගැන හෙළි කිරීමේ වරදට රජිව් මැතිව් CID අත්අඩංගුවට!

සමාජ මාධ්‍ය හරහා රජයට එරෙහිව අසත්‍ය ප්‍රකාශ පළකර ඇතැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා වන රජිව් යසිරු කුරුවිටගේ  මැතිව් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් ජුනි 04 දා ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යාංශය, වෛද්‍ය පර්යේෂණායතනය, ශ්‍රී ලංකාවේ මිනින්දොරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමණාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි වල දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී  ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය හෙළිදරව් කර තිබුණි.

මෙයට හේතුව රජය මේ පිලිබඳව අවධානය යොමු නොකිරීම බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මෙම ප්‍රකාශය අසත්‍ය බවට ජනාධිපති කාර්යාලය විසින් රජිව්ට  එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැමිණිලි කර තිබිණ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිලිබඳ විමර්ශන ආරම්භ කර තිබු අතර පහුගිය දිනෙක රජිව් මැතිව් මහතාව කැඳවා ප්‍රකාශයක්ද ලබා ගන්නා ලදි.

නමුත් යළිත් වරක් ඊයේ (07) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවසට පැමිණ රජිව්  මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ පරිගණක අපරාධ පනතට අදාලව නීතිමය කටයුතු කරන බවකි. මොහුගේ මෙම අසත්‍ය ප්‍රචාරය නිසා එකී වෙබ් අඩවි වලට පැමිණෙන  පිරිස් අඩු වී ඇති බවත් පවසන ඒ මහතා පෙන්වා දෙන්නේ මෙවැනි ප්‍රකාශ නිසා ඒ වෙබ් අඩවි සම්බන්ධයෙන් මහජන විශ්වාසය පලුදු විය හැකි බවය.

කෙසේ නමුදු ඊයේ සවස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් කියා තිබුණේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මහජනතාව මුලා කරවන පිරිස් සොයා විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට භාරදී තිබෙන බවය.

එවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මහජනතාව විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙන බවට පෙනී ගොස් ඇති බවත් එම පුද්ගලයින් සොයන විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.

-ශානි-

Social Sharing
නවතම