කොවිඩ් වසංගත සමයේ පුද්ගලයින්ට පොලිසියෙන් සිදුවන  ප්‍රහාර වල ඉහළ යාමක්!

නිවසින් එළියට ගිය පමණින්  පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැති බවත් මන්ද මෙරට නීතිය අනුව ඔහු අපරාධයක් කර නොමැති නිසා බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ රමණි මුත්තෙට්ටුවේගම මහත්මිය පවසයි.

වසංගතයක් කියු සැණින් ජනතාව කලබලයට පත් වන බවත් එවන් අවස්ථා  වලදී මානව හිමිකම් වලට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රහාර ඉතා දරුණු බව ඇය අවධාරණය කර සිටියි.

වසංගතය පාලනය කිරීමට යැයි කියා බොහෝ විට මානව හිමිකම් සීමා කිරීමකට ලක් වන බවත් ඉන් වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ  ගමනා ගමනය සීමා කිරීම බවද ඇය පවසයි.

ඇඳිරි නීතිය/ සංචරණ සීමා වලින් අවසානයේ සිදු වන්නේ එකම ප්‍රතිඵලය බවත් ඇය කියා සිටියි.

මෙහිදී නිවසින් එළියට යන පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ විට මාව අත්අඩංගුවට ගැනීමට ඇති අයිතිය කුමක්ද කියා බොහෝ දෙනෙකු නොවිමසන බවත් එතනින් ආරම්භ වී සති දෙකක රිමාන්ඩ් වී නිරෝධායනයට යාම තෙක්ම නිහඬව සිටියත් බන්ධනාගාරය තුලදී වසංගතය නිසා ඥාතීන් හමුවීමට නොහැකි වීම මතද කැළඹිමට පත්වන බව පෙන්වා දෙන ඇය අවධාරණය කරන්නේ බන්ධනාගාරය තුල ලොකුම අපරාධය කැළඹිමක් ඇති කිරීම බවය.

බන්ධනාගාරය තුල නිශ්චල විය යුතු බවත් කැළඹීමක් ඇති වූ විට පාලනය කර ගැනීමට නොහැකි බවද  රමණි මහත්මිය පවසයි.

ගිය වසරේ මැයි මාසයේ සිට මේ වසරේ මැයි දක්වාම මානව හිමිකම් කොමිසමට පුද්ගලයින් අයුතු ලෙස අත්අඩංගුවට ගැනීම්, එහිදී සිදු කරන ප්‍රහාර සම්බන්ධයෙන් ලිපි ලිවීමට සිදු වූයේ පොලිසි වලින් අත්අඩංගුවට පත් වන පුද්ගලයින්ට වැඩි වශයෙන් ප්‍රහාර එල්ල වීම හා මිය යාම් වාර්තා වීම වැඩි නිසා බව ඇය පෙන්වා දෙයි.

මෙහිදී ඥාතීන්ට, නීතිඥවරුන්ට, මානව හිමිකම් ක්‍රියාධරයින්ට අත්අඩංගුවට පත් පුද්ගලයා හමු වීම වලක්වා ඇත්තේද මේ වසංගතය ඉදිරියට දමමින් බව ඇය අවධාරණය කර සිටියි.

ඇය මේ බව කියා සිටියේ ඊයේ (05) දින පස්වරුවේ වසංගත කාලයක ලංකාව නම් කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

යහපාලන රජය සමයේ සිට 20 වෙනි සංශෝධනය දක්වා සංක්‍රාන්ති කාලය ගැන විවිධ විද්වතුන්ගේ කථා ඇතුලත් වසංගත කාලයක ලංකාව නම් කෘතිය ජනගත කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරුණි.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නිෂ්පාදනයක් වන මෙම කෘතිය සංස්කරණය කේ.සංජීව මහතා විසිනි.

-ශානි-

Social Sharing
නවතම