ඉංග්‍රීසියෙන් ඉගැන්වීම සහ ඉංග්‍රීසි ඉගැන්වීම

පාසැලේ පළමුවන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවට පුවතක් පළ වී තිබේ. මෙය ඇත්තක් නම් මේ කරන්නට හදන්නේ අධ්‍යාපනයේ මාධ්‍යය ලෙස මෙතෙක් පිළිගෙන තිබූ ස්වභාෂා අධ්‍යාපන ප්‍රතිපත්තිය අතහැර දැමීමය. ස්වභාෂා අධ්‍යාපනය කන්නංගර අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයයි. එසේම මෙය ලෝකය පුරාම පිළිගත් වැදගත් අධ්‍යාපන මූලධර්මයකි.

ස්වභාෂා අධ්‍යාපන මූලධර්මය යනු ජීවිත කාලය පුරා එකම භාෂාවක් ඉගෙන ගැනීම සහ එකම භාෂාවකින් ඉගැන්වීම නොවේ. අඩුම තරමින් ප්‍රාථමික අධ්‍යාපනය වත් දරුවාගේ මව් භාෂාවෙන් ලබා දීමය. අප රටේ අධ්‍යාපනයට අදාල සමාජ දර්ශක මේ තරම් හෝ යහපත් වූයේ ස්වභාෂා අධ්‍යාපනයට මුල් තැන දීම නිසාය.

ගෝඨාභය ජනාධිපතිතුමාගේ ‘දේශප්‍රේමී ආණ්ඩුව’ දැන් කරන්නට හදන්නේ මේ වැදගත් මූලධර්මයට පයින් ගැසීමටය. පයින් ගසන්න! ආණ්ඩුවට කකුල කඩාගැනීමට අනිවාරයෙන් සිදුවන බව කල්තබාම මතක් කිරීමට කැමතිය.

අපේ සිංහල භාෂාවත් අපේ දෙමළ භාෂාවත් මේ ආසියානු කලාපයේ බිහි වූ මහරු සරු භාෂා දෙකකි. අපේ රටේ ජනතාවගේ සංස්කෘතිය ප්‍රධාන වශයෙන් නිර්මාණය  වූයේ මේ භාෂා පදනම් කරගෙනය. ආණ්ඩුව කකුල කඩා ගන්නට සැරසෙන්නේ මේ සංස්කෘතික උරුමයට පයින් ගැසීමෙනි.

මව් භාෂවෙන් ඉගෙන ගැනීම යනු අනෙක් භාෂා ඉගෙන නොගැනීම හෝ ඒවා හෙළා දැකීම නොවේ. ඉංග්‍රීසිය වැදගත් භාෂාවකි. එය මේ යුගයේ අපට ඉතා අත්‍යවශ්‍ය භාෂාවකි. ප්‍රාථමික අධ්‍යාපනය මව් භාෂාව ලබා ගැනීමෙන් පසු අවශ්‍යනම් ද්විතියික අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් ලබා ගැනීමේ හැකියාව දරුවාට ලබා දීම කළ යුතුය. එය කළ හැක්කේ ඉංග්‍රීසියෙන් ඉගැන්වීමෙන් නොව ඉංග්‍රීසි හරියට ඉගැන්වීමෙන්ය. ඉංග්‍රීසියවත් හරියට උගන්වන්නේ නැතිව ඉංග්‍රීසියෙන් උගන්වන්නට සැරසෙන්නේ රට පාලනය පිළිබඳ මෙලෝ ප්‍රායෝගික අවබෝධයක් නැති හීනමානකාරයන්ය.,! ඔව් හීනමානකාරයන්ය! මේ රටේ සියලු ප්‍රශ්න වලට මුල ජනතාව ඉංග්‍රීසි නොදැන සිටීම යැයි අදහන හීනමානකකාරයන් රාශියක් මෙරට සිටින බව අපි අද්දැකීමෙන් දනිමු.

උසස් අධ්‍යාපනය ඉංග්‍රීසිය හා එවැනි වෙනත් ජාත්‍යන්තර භාෂාවකින් ලබා ගැනීමේ කිසිම වැරැද්දක් නැත. අප දරුවන් ඒ සඳහා හුරුකළ යුතුය.එහෙත් එය කිරීම සඳහා මව් බස මරාදැමීමට ඉදිරිපත්විය හැක්කේ සංස්කෘතික ඝාතකයෙකුට පමණි.

‘පටන් ගන්නැ සිය බසින් යැයි’ කුමාරතුංග මුණිදාස පඬිවරයා  දුන් උපදේශය මේ මොළය කොළොප්පන් වී ඇති හීනමානකාරයන්ට නැවත මතක් කර සිටිමු.

-කරුණාරත්න පරණවිතාන-

Social Sharing
නවතම