සමිත හිමියන්ටත් අවමන් කල අධිපති භික්ෂූන් සහ විනයගරුක ආණ්ඩුව….

මා අද උදෑසන dailyreporter.lk ප්‍රවෘත්ති වෙබ් අඩවියට ලිපියක් යොමු කරමින් සමිත හිමිගේ අභාවය ගැන “රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් වූ බද්දේගම සමිත හිමි නික්ම යයි” යන හිසින් යුතුව කතා කරනු ලැබීය. එකී ලිපිය මා අවසන් කලේ පහත පරිදියි.

“උන්වහන්සේගේ අපවත් වීම හදකම්පා කරවුවද, කොවිඩ් වෛරසයෙන් උන්වහන්සේ අපවත් වීම නිසා උන්වහන්සේගේ නිසල දේහය චිතකය වෙත රැගෙන යනු ඇත්තේ උන්වහන්සේ සැමදා ආදරය කල පීඩිත මිනිසුන් විසිනි. එසේ නොවුනේ නම් උන්වහන්සේගේ දේහය රැගෙන යනු ඇත්තේ උන්වහන්සේගේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ අමු ජාතිවාදීන් පිරිසකගේ කරමතිනි.”

(සම්පූර්ණ ලිපිය කියවීම සදහා  https://www.dailyreporter.lk/baddegama-samitha-himi/ )

නමුත් අද සවස් වන විට ආරංචි වූ උන්වහන්සේගේ ආදාහනය සිදු කරන ආකාරය පිළිබද පුවත් වලින් තවත් හද කම්පා කලා පමණක් නොව රාජපක්ෂ ව්‍යාධියේ සමිත හිමියන් අපවත් වූ පසුත් ගොදුරක් වූ අයුරු දැක රාජපක්ෂ ව්‍යාධිය පිළිබද බරපතල කේන්තියක් ඇති විය.

රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් බවට අපවත් වූ පසුත් පෙරමුණ ගෙන ඇත්තේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ බව පෙනුණි. මිනිස්සු සිව් දෙනෙකුට වඩා එක් වීමට ඉඩ නොදෙන පොලීසියේ අසමසම සහයක් ආදාහන උත්සවයට ලැබෙනුද දැකිය හැකි විය. ස්තූති කතාවට අනුව බද්දේගම ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වූ ප්‍රාදේශීය ලේකම්වරයාද මේ ක්‍රියාන්විතයට නොමද සහයක් ලබා දී ඇත.

දේශපාලන බලවතුන්ද, පරිපාලන නිලධාරීන්ද, පොලීසියද එක්ව එනම් සමස්ත ආණ්ඩුවම එක්ව සමිත හිමිගේ මරණය සිය අවස්ථාවාදී දේශපාලන බල වුවමනාව වෙනුවෙන් යොදා ගෙන ඇත. ඒ රාජපක්ෂ දේශපාලනයේ තරමය.

එදා තොණ්ඩමන්ගේ මරණය යොදා ගත්තා සේම අද සමිත හිමිගේ අපවත් වීම යොදාගෙන ඇත. තොණ්ඩමන්ගේ මට්ටමට සමිත හිමිව පත් කිරීම මොන තරම් අවමානයක්ද?

මේ සියල්ලටම ආණ්ඩුව පොළඹවන මෙන්ම ආණ්ඩුවට ධෛර්යය සපයන්නේ සුපේෂල ශික්ෂාකාමී ආණ්ඩුවේ මහ සගරුවනයි. ආණ්ඩුවට වගේම නීති කැඩීමට හැකියාවක් ආණ්ඩුවට හිතවත් අධිපති භික්ෂූන්ටද ඇත. අද බද්දේගම පෙන්වූයේ එයයි.

මේ අධිපති භික්ෂූන් හා ආණ්ඩුව එක්කාසු වී අද නීතියේ ආධිපත්‍යය ගරු කල භික්ෂුවක් වූ සමිත හිමිගේ ආදාහනය නීති කඩමින් සිදු කරන ලදී. ජීවත්ව සිටියදී රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් බවට පත් වූ සමිත හිමියන්ගේ නිසල දේහයද රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් බවට පත් කර ගන්නා ලදී.

-දුලාන් දසනායක-

සමිත හිමිගේ ආදාහනයේ FB Live විකාශය

https://m.facebook.com/story.php?story_fbid=184107553623474&id=100060726902662

https://www.facebook.com/baddegama.api.3/videos/184172813616948/

Social Sharing
නවතම