සමන්ලාල්ගෙන් එළියට පැන්න පොහොට්ටු ඉන්ජෙක්ෂන් ගැහිල්ල..

මොරටු සමන් යනු මොරටුව හොල්ලන් හිටිය, මිනිස්සුන්ගේ මූන තහඩුවේ කාබන් කඩපු නමගිය අපරාදකරුවෙක් ය. නැතිනම් පාතාල නායකයෙක් ය. දැනුත් මොරටුව සොලවන එවැනි සමන් කෙනෙක් මොරටුවට සිටී. ඔහු එසේ මෙසේ පුද්ගලයෙක් නොව ජනතා ඡන්දයෙන් මොරටුව නගර සභාවේ සභාපති පුටුවේ හිඳගත්ත සමන් ලාල් ප්‍රනාන්දු ය. ත්‍රීවිලර් රථ රියදුරෙකුගේ සිට රටේ ප්‍රබලම දේශපාලන පවුල සමග ළඟම සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නට තරම් සමන් ලාල් ගේ මොරටු දේශපාලනය ප්‍රබල විය.  කොටින්ම කියනවානම් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනෙන්න බැසිල් රාජපක්ෂ නිර්මානය කරපු පොහොට්ටු ප්‍රාදේශීය දේශපාලන බලඇණියේ පතාක යෝධයෙක් වෙන්නට සමන් ලාල් ට හැකිවිය. ඒ එම දේශපාලන ප්‍රවාහයේ ජාඩියට සමන් ලාල් ගේ මූඩිය හරියටම පෑහීම නිසා ය.  බැසිල් රාජපක්ෂගේ පොහොට්ටු බලඇණිය සමන්විත වුණේ සඳුන් පොහොට්ටුවලින් හෝ සමන් වැල්වලින් නොව කිඩාරන් මල් වලින් ය. එහි බොහෝ සිටියේ වැලි, ගල්, පස්, කසිප්පු ජාවාරම්වලින් සල්ලි යහමින් හම්බකළ ගමේ චණ්ඩීන් ය. මොරටුවේ සමන් ලාල් ද එම බැසිල් පෙරහැරේ මුලින්ම ගිය ප්‍රධානියෙක් ය. එනිසාම ඔහු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු යන්නට සිටි පුද්ගලයෙක් ය. ඔහුගේ පාර්ලිමේන්තු සිහිනය බොඳවුණේ නූලෙන් ය. මොරටුවේ ඔහුගේ ආධාරකාරයන් කියන්නෙ සමන්ගේ සමන්මය මනාප ඡන්ද සුසිල් ප්‍රේම් ජයන්ත තමන්ගේ ගොඩට දාගෙන ඇති බවය. හතලිස් වසරකට පසුව සැබෑ මොරටු පුතෙක් පාර්ලිමේන්තුවට යනුවෙන් එම මැතිවරණ ව්‍යාපාරය තේමාගැන්වී තිබුණි. එහි තවත් සමන්මය තේමා පාඨයක් විය. ඒ ”කුණු නැති හිතක් ලස්සන රටක්” යන්නයි. මේ කුණු නැති හිත සහිත ලස්සන සමන්මය සමන් ලාල් පසුගිය දා රජයේ වෛද්‍ය නිළධාරිනියක් සමග මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධ අරෝවක පැටලිනි. ඒ සමග සමන්මය සමන් ලාල්ගේ මූන තහඩුවේ කාබන් කැඩී යන්නට විය.

සිදුවීම

පසුගිය 27 දා මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනෝෆාම් එන්නත ලබාදෙන දිනය විය. මිනිසුන් එන්නත ලබාගැනීම සඳහා උදෑසන හතරේ පමණ සිට පෝලිම් ගැසුන අතර, පසුව එම ස්ථානයට මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ලබාදුන් ටෝකන් අතැතිව ඔහුගේ ආධාරකරුවන්ද පැමිණ සිටියෝ ය. මෙම ස්ථානයේ එන්නත් ලබාදීමේ ප්‍රධානියා වූ වෛදවරිය මෙම ටෝකන් සහිත පුද්ගලයන්ට එන්නත ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ නගරාධිපතිවරයා ලබාදුන් ටෝකන්වලට තමන් එන්නත ලබාදෙන්නට සූදානම් නැති බවය. ඒ සමග මෙම ස්ථනයට පැමිණ ඇති නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් ලබාදුන් ටෝකන් හිමි අයට මුලින්ම එන්නත ලබාදිය යුතු බවය. නැතිනම් එන්නත ලබාදෙන්නට ඉඩ නොදෙන බවය. එහිදී වෛද්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ තමන් මුල සිටම ටෝකන් ලබාදීමට විරුද්ධ වූ බවය. එයට පිළිතුරු දෙන නගරාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ කුරුණෑගල ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාද එම ප්‍රදේශයේ එන්නත් ලබාදෙන්නේ මෙවැනි ටෝකන් ක්‍රමයකට බවය. මෙලෙස ඇවිලුන නගරාධිපතිවරයාගේ බාධාකිරීම එදින බොහෝ නාලිකාවල ප්‍රධාන පුවත විය.

එම වීඩියෝව නැරඹූ ඕනෑම කෙනෙකු නගරාධිපතිවරයාගේ මන්දමානසික හැසිරීම පිළිකුල් කරනු ඇත. එහිදී එක තැනක නගරාධිපතිවරයාගේ එහෙයියෙක් ප්‍රකාශ කරන්නේ 1500ක් ඉන්න තැනකට එන්නත් 600කින් කුමක් කරන්නද කියා ය. මෙයින් පැහැදිලි වන්නේ නගරාධිපතිවරයාගේ උත්සාහය තමන්ගේ සමීප ආධාරකරුවන්ට එන්නත ගැස්වීම බවය. මෙහිදී ජීවිතය වටින්නේ පොහොට්ටුවට ඡන්දය දුන් අයට පමණද යන්න අප ප්‍රශ්න කළ යුතුය. මෙම ආරෝව නිසා තිරය අස්සේ රඟදුන් පොහොට්ටු එන්නත් නාටකය එළියට පැමිණි අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි බොහෝ පොහොට්ටු ප්‍රබලයින් තමන්ගේ ආධාරකරුවන්ට එන්නත ලබාදුන් ලැජ්ජනැති ක්‍රමය ගැනද කියවිනි. මෙම අවස්ථාවට මුහුන දුන් වෛද්‍යවරියගේ හැසිරීම අප අගය කළ යුතුය. මෙම වෛද්‍යවරිය වැනි වෛද්‍යවරුන් හෝ වෛද්‍යවරියන් කුරුනෑගල හෝ හම්බන්තොට හෝ සිටිනවා අපි දැක්කේ නැති බවද ඇයට ප්‍රසාදය පළකරන ගමන්ම කිවයුතුය.

යහපාලන කාලයේ මෙවැනි දෙයක් වුණානම් වහාම වැඩ වැරුමකට යන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, නවීන් ද සොයිසා වෛද්‍යවරයාගේ පොඩි සද්දයක් සමගින් නිහඬවෙනු දකින්නට ලැබුණි. ඒ තම සංගමය තමන්ගේ පවුලේ අයවලුන්ට හොර රහසේම එන්නත ගසා ගත් නිසා වන්නට පුලුවන් ය. එහෙත් පහුගිය පාලන කාලයේදී වෛද්‍ය සංගමයට තිබුණ කට සහ ගට දැනුත් තිබෙනවා නම් අප කැමති බවද වෛද්‍ය සංගමයට කිවයුතුය.

නිළ නොලත් මහේස්ත්‍රාත්

නිළ නොලත් මහේස්ත්‍රාත් කියන වචන දෙකේ වාචාර්ථය නො නිල නඩුකාරයා කියන එක ය. ඇත්තටම මේ මොරටු පුත්‍රයා දැන් සෑහෙන කාලෙක සිට බොහෝ දේවල්වලදී මොරටු ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වෙන්නේ නො නිල නඩුකාරයෙක් නැතිනම් නඩු අසන්නෙක් ලෙසය. ළමයෙක් පාසලකට දැමීමේදී, ගොඩනැගිල්ලක් තැනීමේදී අදාළ අවසරය ගැනීම, ආදී පුංචි පුංචි දේවල්වල සිට ලොකු ලොකු නඩු කටයුතු බලන පුද්ගලයෙක් ලෙස ඔහු මොරටුවේ කුප්‍රකට ය.

අපි පසුගිය දවසක මොරටුව ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමක් ඉවත් කරන්නට ගොස් එහි රඟන මේ සමන් ලාල් මාධ්‍ය හරහා දැකගතිමු. ඒ අවස්ථාවේ දී ඔහු ජීවත්වෙන මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශය වසාදාමා තිබුණේ කොවිඩ් වසංගතය එම ප්‍රදේශයේ ශ්‍රීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් තිබුණ බැවින්‍ ය. එහෙත් ඒවා ඔහුට අදාළ වී නොතිබුනි. ඒ මේ නොනිල නඩුකාරකම නිසා වන්නට ඇත. පසුගිය සෙනසුරාදා එනම් මැයි මස 22 වැනි දින මොරටුව තෙලවල ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක පෙරහැර මංග්‍යක් තිබී ඇත. සංචරණ සීමාවන් සහ නිරෝධායන නීතිය ක්‍රියාත්මක අවස්ථාවක එවැනි පෙරහැරකට අවසර සහ ආරක්ෂාව දී තිබුණේ මේ නගරාධිපතිමය. ඒබව එම විහාරයේ විහාරාධිපති හිමියන්ම යකඩ කටින් ප්‍රචාරය කරමින් උජාරුවෙන් පෙරහැරේ ගොස් ඇත. එම පෙරහැර පවත්වන්නට ප්‍රථම එම විහාරයේම සති පිරිත් මංගල්‍යක් සතියක් පුරා පැවතී ඇත. ඒ කිසිම නිරෝධායන නීතියක් අදාළ නොකරගෙනය. ඒ මේ නිළ නොලත් මහේස්ත්‍රාත්ගේ බලපරාක්‍රමය නිසා වන්නට ඇත.

පසුගිය 27 දා සිදුවීම සිදුවෙන විට එම ස්ථානයේ පොලිස් නිළධාරීන් බොහෝ පිරිසක් සිටන බව එම වීඩියෝව නරඹන ඕනෑම කෙනෙකුට පෙනෙයි. එහෙත් ඔවුන් කිසිවෙක් සමන් ලාල් වළකන්න හෝ ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට හෝ උනන්දු වන්නේ නැත. එහිදී පොලිස් නිළධාරීන් පඹයන් සේ ඔහේ සිටී. අඩුම රාජ්‍ය සේවයේ ගෞරවය රැකගන්නට සටන් කරන වෛද්‍යවරියගේ ආරක්ෂාව වෙනුවෙන් හෝ ඔවුන් උනන්දු වන්නේ නැත. කටක් අරින්නේ නැත. මෙලෙස බකන්නිලාගෙන සිටින පොලීසිය මාධ්‍යවේදීන් සමග යමින් එමින් නිරෝධායන නීතීන් කඩන සාමාන්‍ය පුද්ගලයන් අත්ඩංගුවට ගන්නා හැටි ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට පන්නාගෙන යන සැටි අපි නිරන්තරව මේ දිනවල දකිමින් සිටිමු. එහෙත් මේ අවස්ථාවේ පොලිස් නිළධාරීන් මඩේ සිට වූ ඉනි සේ ‘වැනියන් කළු වැනීයන්’ කරමින් සිටීම විහිළුවක් ය.

රටක නගරාධිපති කියන්නේ ගරු කටයුතු තනතුරක් ය. එයට විශාල බලයක්ද හිමිව ඇත. නගරාධිපතිවරයෙක්ට නිළ නොලත් මහේස්ත්‍රාත් යන ගරු කටයුතු නාමය ලැබෙන්නේද ඒ නිසාය. එහෙත් එයට සාමදාන විනිසුරෙක්ට තිබෙන බලය හෝ නැත. කළ හැකි කිසිවක් ද නැත. එහෙත් මේ පුද්ගලයා තමන්ගේ නමින් නිකුත් කරන ටෝකනයේ පිටුපස උජාරුවෙන් නිළ නොලත් මහේස්ත්‍රාත් යන්න සඳහන් කරයි. එයින් ඔහු නොකියා කියන්නට උත්සාහ කරන්නේ තමන් මොරටුවේ නො නිල නඩුකාරයා, නඩු අසන්නා, දඬුවම් දෙන්නා බවය. මේ වනවිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයට දක්කා ඇති මෙම නගරාධිපතිවරයාට, පසුව හෝ නීතිය ක්‍රියාත්මක වීම වැලැක්වීම සඳහා ඇමරිකාවේ සිටින පොහොට්ටු ප්‍රබලයෙක් අවසන් මොහොත දක්වා උත්සාහ ගෙන ඇතැයිද ජනාධිපතිවරයා නිසා එය වැළකී ඇතැයිද ඇතැම් වෙබ් අඩවි වර්තා කර තිබුණි. පොහොට්ටුවේ නීතිය සැමට ක්‍රියාත්මක වන්නේ එසේය.

මේ අතර පසුගිය 28 දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, මෙම සිදුවීම රජයේ එන්නත්කරණය නම් කිරි හැලියට වැටුන ගොම බිංදුවක් බවය. එය අහඹු සිදුවීමක් බව එහිදී නාමල් රාජපක්ෂ කියා සිටී. මෙහිදී එම අවස්ථාවට සහභාගීවී සිටින බොහෝ දෙනෙක්ට ජොන්ස්ටන් අමාත්‍යවරයා මෙන්ම ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාද අමතකවීම හුදු අහම්බයක් පමණක් ද? නැත. පොහොට්ටු දේශපාලනයේ හැටි එහෙමය.

-කේ. සංජීව-

Social Sharing
නවතම විශේෂාංග