හාම්පුතුන් හා ආණ්ඩුව යුතුකම් ඉටු නොකිරීමෙන් කම්හල්වලට වසංගතය!

කොවිඩ් වසංගතය ආසාදනය වන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම එම ආයතන වෙතම පැවරීමට ජනාධිපතිවරයා නියෝග දෙද්දී, රට පුරා කම්හල්වල සේවකයන්ට වෛරසය ආසාදනය වීමේ වගකීම වෘත්තිය සමිති විසින් කම්කරු දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග මැයි 21  පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට   උපදෙස් ලබා දී තිබුනේ PCR පරීක්ෂණ සිදුකරන රජයේ හෝ පෞද්ගලික ආයතන පරීක්ෂණ ප්‍රතිඵලවලින් හඳුනා ගනු ලබන  ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේ  වගකීම  අදාළ ආයතනයටම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙසයි.

රටේ සිව් දෙසම කර්මාන්තශාලා තුළ වෛරස් ආසාදිතයන් වාර්තාවෙමින් තිබුනත් ජනාධිපතිවරයා වැඩි දුරටත් උපදෙස් ලබා දී තිබුනේ  සංචරණ සීමා පැනවෙන කාලය තුළ පවා කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන  යන ලෙසයි.

නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය  මැයි 23 දා නිකුත් කළ නිවේදනයක් මගින් අවධාරණය කර ඇත්තේ රට පුරා කම්හල්වල කොවිඩ් 19 ආසාදනය වීමට හාම්පුතුන් සහ කම්කරු දෙපාර්තමේන්තුව වගකිව යුතු බවයි.

රට පුරා කර්මාන්ත ශාලා තුලින්  සිය ගණනක් වූ වෛරස් ආසාදිතයන් මේ වන විට වාර්තා වී ඇති ආකාරය හෙලි කරන නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් පෙන්වා දෙන්නේ වෛරස් ආසාදිත  සේවිකාවන්ගේ නේවාසිකාගාර අවට ප්‍රදේශය කොටුකර වසා ඇතැයිද ඒ ප්‍රදේශයට කිසිවකුට යන්නට එන්නට නොහැකි යැයිද සේවක සේවිකාවන් දන්වා ඇති බවයි.

එවැනි තත්වයක් තුළ ඔවුන් මුහුණ පා සිටින දුෂ්කරතාවයන්ද ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා සිය නිවේදනය මගින් හෙළි කර තිබේ.

“ඔවුන්ට ඇති බරපතලම ප්‍රශ්නය ඇඟළුම් සේවක සේවිකාවන්ගෙන් කොවිඩ් 19 වයිරසය පැතිරෙන්නේ යැයි ඔවුන්ට කඩ සාප්පු වල භාණ්ඩ අලෙවිය ප්‍රතික්ෂේප කිරීම ය.බහුතර ආසාදිත සේවක පිරිස් නිවෙස්වල නිරෝදායනය කෙරෙති. ඔවුන්ගෙන් ඇතැමුන්ට නිසියාකාරව ආහාර ලැබෙන්නේ නැතැයිද පැමිණිළි ඇත. එවගේම පොඩි ඇඟළුම් කම්හල්වල PCR පරීක්ෂණ නෙකෙරෙන බවත් ඒවායේ ආසාදිත තත්ත්වය එනිසා කිසිවකු නොදන්නා බවත් අපට වාර්තා කෙරිණ.”

කර්මාන්තශාලා තුළ එන්නත්කරණයේදී මෙන්ම PCR සිදු කිරීමේදී සිදු කරන අකටයුතුකම් සම්බන්ධයෙන්ද වෘත්තිය සමිති නායකයා පෙන්වා දෙයි

“පසුගිය මැය 17 වන දින වනවිට කටුනායක නිදහස් වෙළඳ කලාපයේ 100 ට වැඩි සංඛ්‍යාවක් ආසාදනය වී ඇතැයි වාර්තා වන නෙක්ස්ට් කම්හලේ කලමනාකාරිත්වය විසින් ප්‍රමුඛතා තේරීමක් අනුව ඔවුන්ගේ සේවක සේවිකාවන් 260 ට එන්නත් ලබාදී ඇතැයි දැන ගන්නට ඇත. මේ අතර මැග්පැක් කම්හලේ සේවක සේවිකාවන්ට එන්නත් ලබා දීමට සූදානමක් ඇතැයිද වාර්තා විය. ග්ලෝබල් ලංකා කම්හලේ සේවක සේවිකාවන් සඳහා PCR පරීක්ෂණ කිරීම් ආරම්භ කර ඇති නමුත් එම වාර්තා ලැබෙන තෙක් සියල්ලන් සේවයට පැමිණි ය යුතු හෙයින් ආසාදනය වූවන්ගෙන් අනෙකුන්ට ආසාදනයවීමේ අවදානමක් ඇතැයි සේවක සේවිකාවෝ කියති.”

වෘත්තිය සමිති නායක ඇන්ටන් මාර්කස් පෙන්වා දෙන පරිදි වසංගත ව්‍යාප්තිය උතුරු පළාතේ කර්මාන්ත ශාලා කෙරෙහිද විශාල බලපෑමක් එල්ල කර තිබේ.

“අපගේ සම්බන්ධීකාරකයන් ලබා දෙන තොරතුරු අනුව වවුනියාව, කිලිනොච්චිය හා මුලතිවූ අතරින් තත්ත්වය වඩා බරපතලවී ඇත්තේ මුලතිවූ දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි ය.”

එම ප්‍රදේශවල  වෛරසය ආසාදනය වන සේවක සේවිකාවන් නිරෝධායනයට යොමු කරන නමුත් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ගැන තොරතුරු ලබාගත නොහැකි බවයි වෘත්තිය සමිති නායකයා පවසන්නේ.

එම කර්මාන්තශාලා වල කළමනාකාරිත්වයට අමතරව, වෛරස් ආසාදිත  සේවක සේවිකාවන්ද තොරතුරු ලබා නොදෙන බව ඔහු අවධාරණය කරයි.

“එහි වඩාත් බරපතල තත්ත්වය වනුයේ සේවක සේවිකාවන් අතර ආසාදනයවීම් ගැන සෙවීමක් නොමැතිව ගැබිණි කාන්තාවන්ද සත් මසක් ගතවන තෙක් සේවයේ යෙදවීම යැයි සේවිකාවන් පැමිණිලි කරන බව අපගේ සම්බන්ධීකාරකයෝ කියති.”

කිලිනොච්චියේ පිහිටි මාස්  ආයතනයේ සේවයේ නිරත තම බිරිදට වෛරසය ආසාදනය වී තිබීම සම්බන්ධයෙන් දැනුවත් නොකිරීමට විරෝධය පාමින් කිලිනොචිචියේ පියෙක් පසුගියදා එම කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී විරෝධතාවයක්ද දියත් කර තිබුනි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සමාගමේ සේවක සේවිකා වෛරස්  ආසාදනය වීම සේවක ආසාදන සම්බන්ධ බරපතලම සිද්ධිය ලෙස   පෙන්වා දෙන නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය චෝදනා කරන්නේ සමාගමේ වෘත්තීය සමිති විරෝධී පිළිවෙත ඊට මුල් වූ බවයි.

“වෘත්තීය සමිති පිහිටුවීමේ අවස්ථා සේවක සේවිකාවන්ට දිගින් දිගටම අහිමි කර තිබූණෙන් කෝවිඩ්-19 වයිරසය පාලනය කිරීමේ සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් උල්ලංඝණය කරමින් සේවක සේවිකාවන්ගෙන් වැඩ ගැනීමට කලමනාකාරිත්වයට හැකි විය. ”

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ වෘත්තීය සමිතියක් පැවැතියේ නම්  එම ඛේදවාචකය වළකා ගන්නට තිබු බව  නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ විශ්වාසයයි.

ත්‍රෛ පාර්ශවීය  කාර්ය සාධක බලකාය

ශ්‍රී ලංකාවේ පළමු කෝවිඩ්-19 රැල්ලෙහි ආරම්භක කාලයේදී රට පුරා සියලු කර්මාන්ත ශාලාවල සේවක නියෝජනයක් සමග “කම්හල් සෞඛ්‍ය කමිටු” පිහිටුවීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ගෙන තිබුනේ  දිනේෂ් ගුණවර්ධන කම්කරු ඇමතිවරයා සභාපතිත්වය දැරූ ත්‍රෛ-පාර්ශවීය කාර්ය සාධක කමිටුවේදීය.

ඔහුගේ සභාපතිත්වයෙන් ස්ථාපිත කෙරුණු කෝවිඩ්-19 ට අදාල සේවක ගැටළු සම්බන්ධව තීන්දු ගැනීමේ එම ත්‍රෛ-පාර්ශවීය කාර්ය සාධක කමිටුව සමන්විත වී තිබුනේ  හාම්පුතුන්, වෘත්තීය සමිති සහ අමාත්‍යාංශය ඇතුළත්ව ය.

වෘත්තිය සමිති නායක ඇන්ටන් මාර්කස් පවසන පරිදි  අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි කොවිඩ් 19 ෛවයිරසය පැතිරීම පාලනය කිරීම  වගකීමක් ලෙස එම කාර්ය සාධක කමිටුවට භාර වී තිබුනි.

කාන්තාවන් අති බහුතරයක් රැකියාවේ නියුතු ආයෝජන ප්‍රවර්ධන කළාපයේ කම්කරු ගැටලු  සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොරෝනා වසංගතය හිස එසවූ මුල් සමයේ පත් කළ ත්‍රෛ පාර්ශවීය කාර්ය සාධක බලකායේ  කාන්තාවන්ගේ පුළුල් සමිති ව්‍යාපාරයේ නියෝජනයක් නොමැති වීම සම්බන්ධයෙන් නිදහස් වෙළෙඳ කලාපයේ මුල් පෙලේ ක්‍රියාධාරිනියක් එම කාලයේදීම  චෝදනා කර තිබුනි.

“මොකද මේ සදහා තියෙන්නේ එකම ආයතනය තමයි කාර්ය සාධක බලකාය.  ඒ කාර්ය සාධක බලකාය තුළ කාන්තාවන් නියෝජනය වෙන්නේ නෑ. අපි කියනවා ඔවුන්ට හාම්පුතුන්ගේ සංගමය විදිහට කාන්තාවන්ගේ නියෝජනය ඇති කරන විදිහට මේක යාවත්කාලීන කරන්න. මොකද ඇඳිරි  නීති සමයක තමයි මේ කාර්ය සාධක බලකාය හදාගත්තේ. එතන නියෝජනය වෙන්නේ වෘත්තිය සමිති  4 ක් විතරයි වෘත්තිය සමිති 14 කින්ම. එතකොට කිසිම කාන්තා නියෝජනයක් නෑ,” යි එම අනාවරණය කර තිබුනේ ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි විසිනි.

කර්මාන්ත ශාලා තුළ  සේවක නියෝජනයක් සහිත  “කම්හල් සෞඛ්‍ය කමිටු” පිහිටුවීමේ අවශ්‍යතාවය දිගින් දිගටම පෙන්වා දුන්නද ඒවා පිහිටුවන්නට නිශ්චිත වශයෙන් තීන්දු ගනු ලැබුවේ පසුගිය නොවැම්බර් මස 16 වැනි දින රැස්වූ ත්‍රෛ-පාර්ශවීය කාර්ය සාධක කමිටුවේදී බවයි නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පවසන්නේ.

“එම සෞඛ්‍ය කමිටු දෙසැම්බර් 15 දිනට පෙර පිහිටුවා අවසන් කළ යුතු යැයිද එදින තීන්දු කෙරිණ. එම වගකීම කම්කරු දෙපාර්තමේන්තුවට බාර කෙරුණු අතර එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අනු කමිටුව කම්කරු කොමසාරිස් ජනරාල්ගේ මූලිකත්වයෙන් සති පතා රැස්විය යුතු යැයිද එදිනම තීන්දු කෙරිණ.”

එහෙත් කම්කරු දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පියවර නොගත් බවට චෝදනා කරන වෘත්තිය සමිති නායක ඇන්ටන් මාර්කස් අවධාරණය කරන්නේ  කිසිදු කර්මාන්ත ශාලාවක “කම්හල් සෞඛ්‍ය කමිටු” පිහිටු වන්නට කලමනාකාරීන් ඉඩ ලබා දී නැති බවයි.

“එවැනි සේවක නියෝජනයක් සහිත “කම්හල් සෞඛ්‍ය කමිටු” පිහිටු වුවහොත් කලමනාකාරිත්වයට රිසි සේ සේවක සේවිකාවන්ගෙන් වැඩ ගැනීමට නොහැකිවන බැව් හාම්පුතුන් හොඳින් දැන සිටියකි.”

රැස් නොවන කමිටු

වෘත්තිය සමිති නායකයා සිය නිවේදනය මගින් හෙලි කර ඇත්තේ වසංගතය කර්මාන්ත ශාලා තුල දැඩි ලෙස හිස ඔසවා තිබුනද ත්‍රෛ-පාර්ශවීය කාර්ය සාධක කමිටුව මාස තුනකට ආසන්න කාලයක් රැස්වී නොමැති බවයි.

“රටම ඇඳිරි නීතිය සමගින් වසා තැබුණු කාලයෙත් රැස්වූ ත්‍රෛ-පාර්ශවීය කාර්ය සාධක කමිටුව 2021 මාර්තු මස 03 වන දින සිට මෙතෙක් රැස්ව නැත. අන්තර් ජාල “සූම් තාක්ෂණය” ඔස්සේ මාසිකව හෝ පැවැත් විය යුතු බව එහි සාමාජික වෘත්තිය සමිතියක් ලෙස අප කිහිප වර කීවද එයද මෙතෙක් නොකෙරුණි. එළෙසින් ත්‍රෛ-පාර්ශවීය කාර්ය සාධක කමිටුව මේ වනවිට අකර්මන්‍ය කර ඇත.”

තුන්වක කොවිඩ් රැල්ලක් සම්බන්ධයෙන්  විශේෂඥයන් කල් වේලා ඇතිවම  අනතුරු ඇඟවීමක් කර තිබු හෙයින්   අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්ටද මාර්තු අවසානයට පෙර එන්නත් ලබා දෙන ලෙස  ජනාධිපතිවරයාට සහ  අගමැතිවරයාට  දෙවරක්ම ලිඛිතව දැනුම් දුන්නද   මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවටත් ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා චෝදනා කරයි.

ආර්ථිකය බිඳ වැටී ඇති කොවිඩ් 19 වසංගතය සමයේද ආණ්ඩුව අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් ගැන නොසැළකීම කම්කරු අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවේ වගකීම් පැහැර හැරීමට සෘජුව ආධාර වන්නක් ලෙසින් වෘත්තිය සමිති නායකයා පෙන්වා දෙයි.

කම්හල්වල දහස් ගණනක් සේවක සේවිකාවන් ආසාදනය වීමට ප්‍රධාන හා මූලික හේතුව ලෙස නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පෙන්වා දෙන්නේ තමන්ගේ ලාභය වෙනුවෙන් සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව ගැන හාම්පුතුන්ගේ ඇති නොසැළකිල්ල සහ කම්කරු දෙපාර්තමේන්තුව සේවක ආරක්ෂාව සම්බන්ධ සිය වගකීම් පැහැර හැරීමයි.

“හාම්පුතුන්ගේ සහ වගකීමෙන් තොර කම්කරු දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය හේතුවෙන් සේවක සේවිකාවන් පමණක් නොව, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ නේවාසිකයින්ද රටේ ආර්ථිකයද බරපතල අවදානමකට පත්කර ඇත. කම්හල් වැසුණු පසු ඔවුන්ගේ සේවා සුරක්ෂිත භාවයත් අවදානමට පත් වන්නේ යැයි සේවකයින් අතර මතයක් ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය ගැන විශ්වාසයක් තැබිය නොහැකි හෙයිනි.”

රටේ සමාජ පැවැත්ම හා ආර්ථිකය අඩාලවීමට හාම්පුතුන් සමග කම්කරු දෙපාර්තමේන්තුව වගකිව යුතු අතර, එයට විසඳුම් ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ප්‍රජා මට්ටමෙන් දියත් කෙරෙන රෝග නිවාරණ කොවිඩ් 19 වයිරස් පාලන වැඩ සටහනක් සමග සෑම කම්හලකම සේවක නියෝජනයක් සහිත “කම්හල් සෞඛ්‍ය කමිටු” පිහිටුවීමෙන් යැයි නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය  යෝජනා කරයි.

එම “කම්හල් සෞඛ්‍ය කමිටු” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නියාමනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කමිටු සාමාජිකයන්ගේ නම් හා තනතුරු සමගින් ලියාපදිංචි කළ යුතු යැයි ආණ්ඩුව වහා අදාල සියලු පාර්ශවයන්ට නියෝග කළ යුතු බවද සිය නිවේදනය මගින් නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය අවධාරණය කර තිබේ.

Social Sharing
නවතම විශේෂාංග