සැලැස්මක් නැති ආණ්ඩුවේ එන්නත්කරණයේ ප්‍රභූවාදය!

ආණ්ඩුව මීට මාස කිහිපයකට පෙර කොවිඩ් 19 වෛරසය පාලනයේ පියවරක් ලෙස එන්නත්කරණය ආරම්භ කරන ලදී. අද වන විට එකී එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාත තුළ වඩා පුළුල්ව ක්‍රියාත්මක වන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මායිම් නොකරමින් එකී එන්නත්කරණය තුළ ප්‍රභූවාදයක් අවලස්සන ලෙස ක්‍රියාත්මක වනු මේ වන විට දැකිය හැකිය.

කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත්කරණය සම්බන්ධයෙන් ලංකාව අත් කර ගෙන ඇත්තේ අවම ප්‍රගතියකි. නිව්යෝක් ටයිම්ස් ඉදිරිපත් කරන ගෝලීය එනන්ත්කරණ සංඛ්‍යාලේඛන අනුව ලොව ඇතැම් රටවල් සම්පූර්ණ එන්නත්කරණය එනම් එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් කිරීම් 40% සීමාවද පසු කර ඇති අර බොහෝ රටවල් 25% සීමාව පසු කර ඇත. නමුත් ලංකාවේ එහි ප්‍රතිශතය 1.4%කි. එක් මාත්‍රාවක් ලබා දීම් වලදී ලොව බොහෝ රටවල් 50% සීමාව ආසන්නයට පැමිණ සිටියද ලංකාවේ ප්‍රතිශතය 6.5%කි. (වාර්තාව සදහා – https://www.nytimes.com/interactive/2021/world/covid-vaccinations-tracker.html )

අද උදෑසන සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වුනු ප්‍රවෘත්තියක දැක්වුනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම මත රජයේ වෛද්‍යවරුන්ගේ නෑදෑයන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කරන බවයි. ඒ සම්බන්ධයෙන් රජයට, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපතත් කල වාර්තාවක කොටසක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මෙම උත්සහය සම්බන්ධයෙන් සිය දැඩි විරෝධයද පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරියට දන්වන්නේ මෙවන් තත්වයක් ඇති වුනොත් ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බවයි. සමස්ත සෞඛ්‍ය සේවකයන් ගැන නොසළකා සිදු කරන්නට යන මෙම ක්‍රියාව අසාධාරණ හා ආචාරධර්ම විරෝධී බවද ඔවුන් ප්‍රකාශ කරයි. අනෙකුත් සහෝදර සෞඛ්‍ය සේවකයන්ට නොමැති වරප්‍රසාදයක් ලබා දීම සැබවින්ම ආචාරධර්ම විරෝධී ක්‍රියාවක් වුවත් මෙම එන්නත්කරණ වැඩසටහනේ එවන් ආචාරධර්ම විරෝධී ක්‍රියා කෙලවරක් නොමැතිව වාර්තා වූ බවත් අප අමතක නොකල යුතුයි.

රජයේ සමස්ත එන්නත්කරණ වැඩසටහනම ආචාරධර්ම විරෝධී හා අසික්ඛිත ලෙස ප්‍රභූවාදය ඉස්මතු වන අකාරායට සිදු වන බව අපගේ අදහසයි. රජය මුලින්ම කොවිෂීල්ඩ් එන්නත ලබා දීම ආරම්භ කල අතර එහිදී වසංගත රෝග විද්‍යාංශය විසින් නිකුත් කල එම එන්නතට අදාළ පළමු මාර්ගෝපදේශයේ එකී එන්නතේ ඉලක්කගත කණ්ඩායම ලෙස දැක්වෙන්නේ 1. රජයේ හා පෞද්ගලික සියළු සෞඛ්‍ය කාර්යමණ්ඩල 2. සෞඛ්‍ය නොවන එහෙත් කොවිඩ් මර්දනය හා පාලනය සමග සෘජුව සම්බන්ධ වන ඉදිරිපෙල වෙනත් කාර්යමණ්ඩල (ආරක්ෂක අංශ, පොලීසිය ආදිය) 3. කොවිඩ් 19 රටතුළට සංක්‍රමණයන්ගෙන් ඇතුල්වීමේදී සෘජුව සම්බන්ධ වන ගුවන් තොටුපළ හා වරාය තෝරාගත් කාර්යමණ්ඩල, යන කණ්ඩායම් වෙයි. (https://www.epid.gov.lk/web/images/pdf/Circulars/Corona_virus/covishield_immunization_guideline.pdf )

නමුත් මෙම කණ්ඩායම්වලට අයත් සියළු දෙනා පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක් කිරීමට රජය මේ වන විටත් අපොහොසත් වී තිබීම කණගාටුවට කරුණක්. මෙම ඉලක්ක ගත කණ්ඩායම එන්නත් කිරීම අවසන් කිරීමට පෙරම රජය විසින් මෙහි දෙවන අදියර ආරම්භ කල අතර එහිදී නිකුත් කල මාර්ගෝපදේශයන්හි ඉලක්ක ගත කණ්ඩායම නිශ්චිතව දක්වා නැති අතර එහි දක්වා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එය දන්වන බවයි.ඉන් පසු නිකුත් කල සයිනොෆාම් එන්නතට හා ස්පුට්නික් එන්නතට අදාළ මාර්ගෝපදේශයන්හි ද දක්වා ඇත්තේ ඉලක්ක කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නම් කරනු ඇති බවයි.

(https://www.epid.gov.lk/web/images/pdf/Circulars/Corona_virus/Covishield_vaccine_campaign_2_amd.pdf, https://www.epid.gov.lk/web/images/pdf/Circulars/Corona_virus/sputnik%20vaccine%20_Guidelines_final_06_05_2021.pdf , https://www.epid.gov.lk/web/images/pdf/Circulars/Corona_virus/Sinopharm%20vaccine%20_Guidelines_08_05_2021.pdf )

එම නිසා එන්නත්කරණ වැඩසටහනට නිශ්චිත ඉලක්ක කණ්ඩායමක් නොවුනි. කෙසේ වෙතත් කොවිෂීල්ඩ් දෙවන අදියරේදී සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කලේ එය ලබා දෙන්නේ වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයට බවය. නමුත් කෙටි දිනක් ගත වන විටම එය වෙනස් වූ අතර ඉන් පසු කොවිෂීල්ඩ් එනන්ත අවුරුදු 60 ට අඩු ජනයා වෙතද කිසිදු පිළිවෙලක් නැතුව ලබා දීම ආරම්භ විය. විශේෂයෙන් මෙහිදී මෙම එන්නත ප්‍රමුඛතාවයක් අනුව ලබා දිය යුතු අවදානම වැඩි ජනයා වෙත එන්නත ලබා දීම සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් නොවූ අතර රජයේ ආර්ථික මර්මස්ථානයන්හි සේවකයන්ට නම් එන්නත ලබා දී තිබුණි. සෞඛය කාර්යමණඩල වලට අමතරව රජයේ නිලධාරීන්ටද එන්නත ලබා දීම සිදු විය. ස්පුට්නික් හා සයිනොෆාම් එන්නත්කරණයේදී සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කලේ එය ලබා දෙන්නේ 30-60 දක්වා ජනගහනයට බවය.

දැන් මේ වන විටත් ලංකාවේ රජයේ හා පෞද්ගලික සියළුම සෞඛ්‍ය සේවකයන්ට හා ඔවුන්ගේ සමීප ඥාතීන්ට එන්නත ලබා දීමට ආණ්ඩුව සමත් වී නැහැ. ඒ වගේමයි වයස අවුරුදු 60ට වැඩි සියළු දෙනාට නොව අවදානම් සහගත වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන්ට සම්පූර්ණයෙන් මෙය ලබා දීමට ආණ්ඩුව සමත් වී නැහැ. මේ ආකාරයට පත් වී ඇත්තේ ආණ්ඩුව විසින් දියත් කල සැලැස්මක් නොමැති එන්නත්කරණ වැඩසටහන් හා එකී එන්නත්කරණයට දේශපාලන සම්බන්ධකම් හා නිලධාරිවාදය ඇතුල් විම නිසයි.

ලෝකයේ බොහෝ රටවල් මෙම එන්නත්කරණයේදී යෝදා ගත්තේ ප්‍රමුඛතා අනුපිළීවෙලට ඛාණ්ඩ වශයෙන් මෙම එන්නත්කරණය සිදු කිරීමේ ක්‍රමවේදයයි. බොහෝ රටවල සියළු සෞඛ්‍ය කාර්යමණ්ඩල එන්නත්කරණය සිදු කර අවසන්. ඒ වගේම ඔවුන්ගේ සමීප ආශ්‍රිතයටන්ද එන්නත්කරණය සිදු කර අවසන්. ඒ වගේම බොහෝ රටවල් අධි අවදානම් රෝගීන්ටද එන්නත්කරණය සිදු කර අවසන්. තමන්ගේ වයස් ඛාණ්ඩයට එන්නත ලබා ගැනීමේ අවස්ථාව එන තෙක්ම කැනඩාවේ අගමැතිවරයා එන්නත ලබා නොගෙන සිටියේ මේ ආදර්ශය ලබා දෙමින්.

ලංකාවේ කොවිෂීල්ඩ් එන්නත ලබා දෙන අවස්ථාවේ සිටම විවිධ වෘත්තික කණ්ඩායම් එම එන්නත ඔවුන්ගේ සම්බන්ධතා පාවිච්චි කරමින් ලබා ගැනීමට කටයුතු කරනු ලැබීය. ඒ සදහා ඔවුන්ට අවස්ථාව ලැබුනේ රජයේ එන්නත්කරණ වැඩසටහන තුළ එවැන්නකට ඉඩක් පැවැති නිසයි. රටේ සියළු ජනයා එන්නත්කරණයට භාජනය කල යුතු වුවත් පවතින සීමිත සම්පත් ප්‍රමාණය නිසා මේ අවස්ථාවේදී ප්‍රමුඛතා අනුව එන්නත්කරණය සිදු කිරීමයි රජය කල යුතුව තිබුණේ. නමුත් එන්නත්කරණයට ප්‍රභූවාදය, නිලධාරිවාදය, හා දේශපාලනය කැඳවමින් එය සිදු වීම ඛේදජනකයි. සියළු ප්‍රමුඛතා බිඳ හෙළමින් නීිතිඥයන් ඇතුළු ඇතැම් වෘත්තිකයන්ට කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරනු ලැබීය. අවදානම ඉතා අවම රජයේ නිලධාරීන්ද එන්නත් ලබා ගැනීමේ කටයුත්ත සිදු කලේ රජයේ නිලධාරියෙක් වීම මතමයි. ඇතැම් එන්නත්කරණ පෝලිම්වලදී රජයේ නිලධාරීන්ට ප්‍රමුඛතාවය ලබා දීමට යාමෙන් නොසන්සුන්කාරී තත්වයන් ඇති වන අයුරු මාධ්‍ය වාර්තා කිරීම් දක්නට ලැබුණී.  මාධ්‍යවේදීන්ට එන්නත්කරණය විශේෂයෙන් ජයවර්ධනපුර රෝහලේදී සිදු වුනේ මාධ්‍ය හැදුනුම්පත පදනම් කරගෙනයි. මීට අමතරව ඇතැම් එන්නත්කරණය සිදු කරන මධ්‍යස්ථාන වලට දේශපාලන මැදිහත්වීම් සිදු වූ බවත් දේශපාලඥයන් විසින් ඉදිරිපත් කරන ලද ලේඛනයන්ට එන්නත්කරණය සිදු වූ බවත් වාර්තා වුණි. මොරටුව නගරාධිපති සමන්ලාල්ගේ එන්නත්කරණ චිට් එක මින් බොහෝ සෙයින් ප්‍රසිද්ධ විය.

මේ ආකාරයට ලංකාවේ කිසිදු එන්නත්කරණ වැඩසටහනක සිදු නොවූ ආකාරයේ ප්‍රභූවාදයක් හා සැලැස්මක් නොමැති කමක් ගෝලීය වසංගතයක් වන කොවිඩ් 19 මර්ධනය සදහා එන්නත්කරණයේදී සිදු වීම ඉතාම කණගාටුදායක තත්වයක්. අද වන විට කොවඩ් 19 ඉතා සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන පසුබිමකත් මෙම එන්නත්කරණය මහපොළොවට ගෙනැවිත් ප්‍රමුඛතා අනුපිළීවෙලට මෙම එන්නත ලබා දීමට කිසිදු වැඩසටහනක් ආණ්ඩුවට නැහැ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට මග පෙන්විය යුතු සහ ඒ වගේම සෞඛ්‍යයේ ප්‍රමිතිය ගැන කතා කරන, රජයේ වෛද්‍ය නිලධාරී සංගමයත් අද ඔවුන්ගේ ලිස්ට් එකක් ඇමතිවරයාට යොමු කිරීම ගැන අප පුදුම විය යුතු නැහැ. මෙම එන්නත්කරණ වැඩසටහන පැවැතුනේම ප්‍රභූන්ට මුල් තැන දෙන පදනමකින් ලිස්ට් ක්‍රමයකට බැවින් ලංකාවේ ප්‍රභූ කුලකයක් නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ගේ ලිස්ට් ඉදිරිපත් කිරීම සාමාන්‍ය දෙයක්. මේ වන විටත් පෞද්ගලික සෞඛ්‍ය කාර්යමණ්ඩල සම්පූර්ණයෙන් එන්නත්කරණය සිදු කර නැහැ. ගමනාගමන කටයුතු වලට සෟජුව දායක වන පෞද්ගලික හා ගමනාගමන මණ්ඩලයේ රියදුරු කොන්දොස්තර මහතුන් එන්නත්කරණය සිදු කර නැහැ. සුුපිරි වෙළද සැල් ඇතුලු වෙළද සැල් සේවකයන් එන්නත්කරණයට ආණ්ඩුවට වැඩසටහනක් වත් නැහැ. මේ ආකාරයේ නිරන්තරයෙන් සමාජය හා ගැටෙන නිර්ප්‍රභූ ජනයා එන්නත්කරණයට ලක් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු සැලැස්මක් නැහැ. මෙම එන්නත්කරණය ඉල්ලා සිටින පෝලිම් පනින ප්‍රභූන්ද දැන ගත යුත්තේ ඔබට පමණක් තනිව ආරක්ෂා වී මෙම ව්‍යසනයෙන් බේරීමට නොහැකි බවයි. ඩේටා බේස් හැදීම් වැනි අලංකාර වචන හරඹ කල ආණ්ඩුවට අපට කීමට ඇත්තේ අඩුම තරමේ කොන්ද පණ ඇතිව මෙම එන්නත්කරණ වැඩසටහන් හි ඇති ප්‍රභූවාදය හා දේශපාලනය නවත්වා දමා තමන්ටත් මෙම එන්නත ලැබෙන බවට ජනතාවගේ හිතේ විශ්වාසයක් ඇති වන පරිදි විශ්වසනීය පාරදෘශ්‍ය වැඩසටහනක් ඉදිරිපත් කරන ලෙසයි.

-දුලාන් දසනායක-

Social Sharing
නවතම විශේෂාංග