ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සබන්ධයෙන් කරුණාට එරෙහි පරීක්ෂණ ගැන ජාත්‍යන්තර අවධානය

දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායකයකු වී සිටි සමයේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ සමාජිකයන් දහස් ගණනක් මරා දැමූ තමන්, සුළු පිරිසක් මැරූ කොරෝනාවට වඩා බියකරු පුද්ගලයකු බවට කර්නල් කරුණා අම්මාන් නමින් ප්‍රකට විනයාගමූර්ති මුරලිදරන් මඩකලපුවේ නාවිදන්වේලි හී මැතිවරණ ප්‍රචාරක රැළියකදී ආධාරකරුවන් අමතා පවසා තිබුණි.

එම ප්‍රකාශය සම්බන්ධ විභාගයක් පවත්වන  සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණා කැඳවා ප්‍රශ්න කර තිබුණි.

ඉතිහාසයේ ඔහු විසින් කරන ලද අපරාධ ගැන ප්‍රශ්න කරනු ලැබීම තම අවධානයට ලක්ව ඇතැයි පවසන මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස් කාර්යාලය ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධව ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කළ යුතු යැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා ඇත.

“හිටපු LTTE ආඥාපතියකු සහ ආණ්ඩුවේ ඇමතිවරයකු වන කරුණා අතීත අපරාධ චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබන බව අපේ අවධානයට ලක් වී තිබේ. ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධයක් වන තොග පිටින් ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ද ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතුය. වගවීම ශ්‍රී ලංකාවේ හැමටම වලංගු විය යුතුය.”

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සබන්ධයෙන් කරුණාට එරෙහි පරීක්ෂණ ගැන ජාත්‍යන්තර අවධානය

(ඡායාරුපය: කරුණා කොටි සංවිධානයෙන් කැඩී ශ්‍රී ලංකා යුද හමුදාව සමග හවුලේ මෙහෙයුම් ආරම්භ කළ පසු ඔහුගේ සන්නද්ධ සාමාජිකයන් දැක්වෙන මේ ඡායාරුපය ගන්නා ලද්දේ 2006 නොවැම්බර් 11 දාය. රොයිටර්ස් ඡායාරූප ශිල්පී අනුරුද්ධ ලොකුහපුආරච්චි)

2004 දී කොටි සංවිධානයෙන් කැඩී ආ පසුත් කරුණා අම්මාන් සිය නායකත්වයෙන් පිහිටුවාගත් ද්‍රවිඩ මක්කල් විඩුදලෙයි පුලිකල් සංවිධානය නැගෙනහිර පලාතේ සිදුවු අතුරුදහන් කිරීම්, වධහිංසා පැමිණවීම් සහ    බඳවා ගැනීම් වැනි අපරාධ වලට වග කිව යුතු බවට හියුමන් රයිට්ස් වොච් ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එවක දී චෝදනා කළේය.

කොටි සංවිධානයෙන් වෙන්විමෙන් පසුව රජයේ ආරක්ෂක අංශ යටතේ ක්‍රියාත්මක වන අතුරු හමුදා ඒකකයක් පවත්වාගෙන ගිය කරුණා විසින් සිදු කරන ලද නීති විරෝධී ක්‍රියා ගැන රජය දැනුවත් වී සිටි බවට එම වාර්තා වැඩි දුරටත් කියා තිබුණි.

කරුණා විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කර්නල් කරුණා අම්මාන්ට එල්ලවී ඇති බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරිමේ චෝදනා සම්බන්ධව විමර්ශනය කර නඩු පැවරිය යුතු බව පෙන්වා දෙන හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඔහුට එල්ලවී ඇති යුද අපරාධ සම්බන්ධව බොහෝ කලකට පෙර අපරාධ පරීක්ෂාවට ලක් කළ යුතුව තිබුන බවයි නිවේදනය කරන්නේ.

ශ්‍රී ලංකා බලධාරීන් කරුණාට එරෙහිව ඇති යුද අපරාධ සහ වෙනත් බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් විමර්ශනය කර නිසි පරිදි නඩු පැවරිය යුතුව ඇතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද යුද අපරාධ චෝදනා සහිත අයකු නිසා කරුණා යළිත් දඬුවමක් නොලබාම ගැලවී යනු ඇතැයි හියුමන් රයිට්ස් වොච් සැක පළ කරයි.

Social Sharing
නවතම