හතරවෙනි ආණ්ඩුව කියන ජනමාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත අකැපද?

මෙරට සියලු ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පහුගිය දිනෙක මහනුවරදී ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව මෙරට ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ නම් හා හැඳුනුම්පත් අංක දිස්ත්‍රික් මාධ්‍ය කාර්යාල විසින් කොළඹට ලැබීමට සලස්වා තිබුණි.

ඒ සියලුම දෙනාට මෙම එන්නත කොළඹදී ලබා දීමට නියමිතව තිබූ හෙයිනි. නමුත් බොහෝ දිස්ත්‍රික්ක වල මාධ්‍යවේදීන් මේ අවස්ථාවේ කොළඹට ඒමට කැමති වුයේ නැත. ඔවුන් පෙන්වා දුන්නේ ඒ ඒ දිස්ත්‍රික්කයේ යම් ස්ථානයක මේ එන්නත ලබා දෙන ලෙසටය. නමුත් ඒ් ඉල්ලීමට ප්‍රතිචාර ලැබුනේ නැත.

මේ අතර පහුගිය 14 දා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත ලබා දීම ආරම්භ කෙරුණි. මෙදින කොළඹ ඇති මාධ්‍ය ආයතන වල සේවක පිරිස පැමිණ තිබුණි.

මේ සම්බන්ධව අනුරාධපුරයේ අපි ජනමාධ්‍යවේදියෝ සංගමය විසින් ඊයේ (17) දින මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. මෙම සංගමයේ ප්‍රධාන ලේකම් බුද්ධික මහේෂ් විජේසුරිය මහතා මෙහිදී කියා සිටියේ මෙරට කොවිඩ් රැලි තුනම පැමිණියත් ආණ්ඩුව ලංකාවේ හතරවෙනි ආණ්ඩුව කියන ජනමාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත ලබා දීමට අපොහොසත් වී ඇති බවය.

මේ වන විට කොවිඩ් එන්නත ලබා දීම රජය ආරම්භ කළත් එය ලබා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට යා යුතුව ඇති බවත් මෙය කෙතරම් දුරට ප්‍රායෝගිකද යන්න පවසන ඔහු පෙන්වා දෙන්නේ නිදසුනක් ලෙස පදවියේ මාධ්‍යවේදියෙක් නම් කිලෝ මීටර් 700 කට වඩා ගෙවාගෙන මේ එන්නත ලබා ගැනීමට යා යුතු බවය.

මේ අවස්ථාවේ සුවිශේෂී කාර්යභාර්යයක් ඉටු කරන ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කොවිඩ් ආසාදිත වුවහොත් මාධ්‍ය ආයතන වලට ප්‍රාදේශිය පුවත් අහිමි වන බව පෙන්වා දෙන ඔහු පවසන්නේ රජයේ අනෙක් නිලධාරීන්ට දිස්ත්‍රික්කයට ගෙනවිත් විඳිනවානම් මාධ්‍යවේදියා කොළඹ යා යුත්තේ ඇයිද  යන්නය.

සෞඛ්‍ය සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයෙක් අනුරාධපුරයේ සිටින බවත් ඔහුට සියලු මාධ්‍යවේදීන්ට මෙය ලබා දෙන්න දිස්ත්‍රික්ක වලට බෙදා යැවීමේ හැකියාව ඇති බවත් නමුත් සියලු දෙනාට ජනමාධ්‍යවේදියා මතක් වෙන්නේ ඡන්දයක් පටන් ගන්නකොට විතරක් බවත් එදාට ජනමාධ්‍යවේදියා කරේ යැයිද ඔහු පවසයි.

තමන් කථා කරන්නේ මුලු රටේම මාධ්‍යවේදීන් ගැන සිතා බවත් හැකි නම් මේ එන්නත මාධ්‍යවේදියාට ලබා දීමට ඒ ඒ පළාත් වලට යවන ලෙසත් එමෙන්ම  අවස්ථාවේම ඔහුගේ පවුලේ අයටත් මේ ඒන්නත ලබා දෙන ලෙසත් ඔහු රජයෙන්, සෞඛ්‍ය අංශ වලින් ඉල්ලා සිටියි.

-ශානි-

Social Sharing
නවතම