උත්සවශ්‍රීයෙන් විවෘත වන ඇඳන් වාට්ටු!

කොවිඩ් රෝගීන් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙරට රෝහල් වල ධාරිතාව ඉක්මවා යාම නිසා කොවිඩ් අතරමැදි මධ්‍යස්ථාන ද රෝහල් බවට පත් කිරීමට රජය තීරණය කර තිබුණි. මෙහිදී රජයේ විවිධ පාර්ශව විසින් ඇඳන් දස දහසක් සාදා දීමට ඉදිරිපත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මේ දිනවල සෑම ප්‍රදේශයකටම/දිස්ත්‍රික්කයකටම තාවකාලික රෝහල් ඉදි කරනු ලබයි. මෙය දිස්ත්‍රික්ක නායකයින් අතර දැන් තරඟයක් බවට පත්ව ඇති අතර ඇඳන් රැල්ලක් මේ නිසා නිර්මාණය වී ඇති අයුරුද දැකිය හැකිය.

මේ අතර ඇතැම් මැති ඇමතිවරු මේ තාවකාලික කොවිඩ් වාට්ටු ඉදිකර ඒවා විවෘත කිරීමේ උත්සවද පවත්වනු දක්නට ලැබේ. මෙයට ආසන්නතම නිදසුනක් වනුයේ ගම්පහ දිස්ත්‍රික්කයේ වතුපිටිවල ඉදිකරන ලද තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය උත්සවයක් පවත්වා විවෘත කිරීමය. මෙම ඉදි කිරීම සිදු කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය විසිනි. මෙය 12 දා විවෘත කිරීම කෙරුණේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

කොවිඩ් 19 වසංගතයට අදාලව රජය නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලා අතර එක් කරුණක් වන්නේ මේ දිනවල ජනතාව ඒකරාශී වල සියලු උත්සව පැවැත්වීම තහනම් බවය. නමුත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ සියලු නීති කඩ කරමින් වතුපිටිවල තාවකාලික රෝහල සෞඛ්‍ය අංශ වෙත උත්සවශ්‍රියෙන් භාර දෙනු ලැබුණි.

මෙය මොවුන් උත්සව පවත්වා විවෘත කළ පළමු තාවකාලික රෝහල නොවන්නේය. මීට පෙර මිනුවන්ගොඩ, මුල්ලේරියාව, කොටදෙනියාව ආදි ප්‍රදේශ වලද තාවකාලික වාට්ටු ඉදිකර උත්සව පවත්වා රජයට ලබා දුන්හ. මේවා සංචාරක අමාත්‍යවරයාගේ මුහුණු පොතේ පළ කර ඇති අතර ඊට බොහෝ දෙනෙකු අප්‍රසාදය පළ කර ඇති අයුරු දැක ගත හැකිය.

මේ අවස්ථාවේ උත්සව පවත්වනවාට වඩා ඔවුන් මේ උත්සවයට වියදම් කළ මුදලින්ද කොවිඩ් රෝගීන්ගේ සුබ සිද්ධිය උදෙසා යමක් කළ හැකිව තිබුණි.  නමුත් එසේ කරන්නේ නැත. සියලු දෙනාම උත්සහ කරන්නේ ඊළඟ මැතිවරණයට මනාප එකතු කර ගැනීමකි.  අනෙකාට වඩා තමන් හොඳින් වැඩ කළ බව ජනාධිපතිවරයාට ඒත්තු ගැන්වීමය.

මේ දිනවල ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන වැඩ අංගනයේ ද කඩිනමින් ඇඳන් සාදන බව වාර්තා වේ. ඒ වෘත්තිය සමිති මැදිහත් වීමෙනි.

Temporary Covid wards open Prasanna Ranatunga 2

-ශානි-

Social Sharing
නවතම