කාබනික වගාවට අපි අකමැති නෑ – ගොවීන්ගෙන් රජයට රතු එළියක්!

කාබනික වගාවට ගොවියා බලහත්කාරයෙන් යොමු කිරීමට සැරසෙන්නේ පිටරටින් වස පිරුණු සහල් ඇතුළු දනධාන්‍ය ගෙන්වා කොමිස් කුට්ටි ලබාගැනීමේ කුමන්ත්‍රණයක් නිසා දැයි සැකයක් පවතින බවත් වහාම මේ රසායනික පොහොර හා පළිබෝධ නාශක තහනම අකුලා නොගතහොත් ගොවීන් දස දහස් ගණනින් ජනාධිපති මන්දිරය ඇතුළු රාජ්‍ය ආයතන වැටලීමට එන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය  පවසයි.

ගොවියාට අවශ්‍ය පොහොර හා පළිබෝධ නාශක හිටි ගමන් තහනම් කිරීම නිසා ගොවියා මුහුණ දී ඇති අර්බුදය පිළිබඳව පොලොන්නරුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (10) මේ බව ඔවුහු අවධාරණය කළහ.

පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, ඇළහැර යන මහා වාරි ව්‍යාපාරවල ඒකාබද්ධ ගොවි සංවිධානවල ගොවි නායකයින් මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ හ.

පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ හා පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති ගොවි නායකයා අදහස් දක්වමින් මෙසේ කීය.

“අද ඉන්න ආචාර්ය මහාචාර්යවරු පිරිසක් දොස්තරවරු පිරිසක් විද්‍යාඥයින් පිරිසක් එකතු වෙලා උපදෙස් දීලා බොරු කතා කියලා බොරු සිද්ධාන්ත මවලා මේ රටේ සහල් නිෂ්පාදනය විනාශකරලා දාන්න. යූරියා,ටී එස්. පී. සහ එම්.ඕ.පී. තහනම් කරලා කාබනික ගේනවලු රටින්. රටින් ගේන ඔක්කොම විසයි කියලා පහුගිය දවස්වල ඔප්පු වුණා. ගෙන හැම කෑම ජාතියක්ම විසයි. කවුද ඒවා පරීක්ෂා කරන්නේ. පළිබෝධනාශක රෙජිස්ටාර්වරයෙක් ඉන්නවා ඒකා බුදි. මේවා කිසි දෙයක් බලන්නේ නෑ. එක්තරා කොම්පැනියකින් දුන්න දියර පොහොර බෝතලයක් තමයි මේ පහුගිය කාලේ අපට දුන්නේ. මේකේ තියෙන්නේ තනිකරම සීනියි පාං පිටියි. ගොවියෝ මේක සල්ලිවලට අරගෙන ගැහුවා. කවුද වග කීවේ. ආණ්ඩුව වගකීවද. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වග කීවද? කවුරුවත් නෑ. ගොවියගේ සල්ලි ටික නිකන් නාස්ති කරා. අස්වැන්න වැඩි වුණා ද ඒත් නෑ. දැන් පත් කරලා තියෙනවලු කාබනික වගාව කරන්න ජනාධිපති කාර්යසාධන බලකායක්. ඒ අයත් මේ කුමන්ත්‍රණයම කරයි. කරුණාකරලා අපි ජනාධිපතිතුමාගෙන් බැගැපත්ව ඉල්ලා සිටිනවා මේ කුමන්ත්‍රණවලට අහුවෙන්න එපා. දැන් කියනවා ගොවියාට වගා හානියක් අස්වැන්න අඩු වීමක් වුණොත් වන්දියක් ගෙවනවලු. ගොවියා අතින් සල්ලි දීලා වගා රක්ෂණය කරනවා ඒකේ තුට්‍ටු දෙක ගන්න අවුරුදු ගණන් බඩ ගාන්න ඕන. මෙහෙම රටක තමයි මේ වන්දි ගෙවනවා කියන්නේ. මේ රටට ගෙන්නන සියලු ආහාර ද්‍රව්‍ය වස විස තියෙන ඒවා. ඒවා තහනම් කරන්න. අපේ වී වගාවට කෙලවන්නෙ නැතුව. කාබනික වගාවට අපි අකමැති නෑ. ඒක ක්‍රමානුකූලව කරන්න ඕන. මේ කරන්න හදන්නේ ගොවියා වී ගොවිතැනෙන් ඈත් කරලා පිට රටින් හාල් ගෙන්නන්න. ඒ ගෙන්නන හාල් කාබනිකද? මේ කොමිස් ගහන්න තමයි මේ වැඩේ කරන්නේ. අපි කියන්නේ එන්න පොලොන්නරුවට ඇත්ත ගොවියත් එක්ක කතා කරන්න කොහොමද මේක කරන්න ඕන කියලා සාකච්ඡා කරන්න.

කවුඩුලු වැව ව්‍යාපාර ගොවි සංවිධානයේ ගොවි නායක අශෝක කරුණාසේන

අපි ආණ්ඩුවට කියනවා එක එක සුකුරුත්තං දාන්න ලෑස්තිවෙන්න එපා. පහුගියකාලේ ගෙනාව එක යෝජනාවක් ආණ්ඩුවට වී දුන්නේ නැත්තං පොහොර දෙන්නේ නෑ කියලා. අපි ඒක පරාජය කළා. ආණ්ඩුවට අපි කියනවා ඔය කියන විද්වතුන්ටත් එක්ක දැන් එක පාරම කාබනික ගොවිතැනට යන්න බෑ. පොලව හුරු වෙලා තියෙන්නේ, බීජ හුරු වෙලා තියෙන්නේ ගොවියා හුරුවෙලා තියෙන්නේ රසායනික පොහොර හා පළිබොධනාශක වලට. කාබනික පොහොර දාලා කරනවා නම් ඒක එක පාරට කරන්න බෑ. ඒක හොඳ වැඩක් අපි ඒක කරමු. හැබැයි, වර්තමානය වෙනකොට අක්කරයකට වී බුසල් 150ක් ගත යුතුයි ගොවියාට ජීවත් වෙන්න නම්. ආණ්ඩුව එක පාරම කාබනික පොහොර දාලා මේක කරන්න කියලා අක්කරයකට බුසල් 50ක් වැ‍ටුනොත් ආණ්ඩුව අනිත් බුසල් 100 අපට දෙන්න ඕන. බොරු සෙල්ලම් දාලා මේ වහන්න හදන්නේ රටේ ඩොලර් නැති කම. ඒක වහන්න සෙල්ලම් දාලා වැඩක් නෑ. පොහොර ටික කපන්නේ ඒක හින්දා. මේ ගොවියට ආදරය කරන මිනිස්සු 2008 ගොවියගේ විශ්‍රාම වැ‍ටුප කප්පාඩු කෙරුවා. 2008 ඉදලා මේ දක්වා ගොවි විශ්‍රාම වැ‍ටුප් ක්‍රමයට දායක කරගන්නේ නෑ. ආණ්ඩුව බොරු කරන්නේ. හාමුදුරුවරුන් කිහිප නමක් මහා ලොකුවට මේ ගැන කතා කරනවා. අපි ඈ හාමුදුරුවරුන්ටත් කියන්නේ අපේ හාමුදුරුවනේ තහනම් කරන්න ඕන ඒවා ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ සිගරට් පැකට් එකක්. මේක තහනම් කරලා පෙන්නන්න මේ තියෙන්නේ අපේ රටේ පැනි බීම නිෂ්පාදනයක් මේවාත් උග්‍ර විශ මේවා තහනම් කරන්න. අපි ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් කෘෂිකර්ම ඇමතිවරයාටත් කියනවා ගොවියාගේ තිබෙන කිසිදු දෙයක් කප්පාදු කරන්න ලෑස්ති වෙන්න එපා. එහෙම කළොත් ගොවීන් දස දහස් ගණනින් ජනාධිපති මන්දිරය පමණක් නෙමෙයි කෘෂිකර්ම අමාත්‍යංශය පමණක් නෙමෙයි රටේ තියෙන හැම රාජ්‍ය ආයතනයක් ම වට කරනවා. ගොවියාට අත තියන්න එපා. අපි ආරාධනා කරනවා උපදෙස් දෙන මහාචාර්යවරුන්ට විද්වතුන්ට හාමුදුරුවරුන්ට එන්න පොලොන්නරුවට මේ රටේ තියෙන සියලුම මාධ්‍ය නාලිකාත් අරගෙන සජීවී සංවාදයකට එන්න අපි එතන දී කියන්නම් කොහොමද කාබනික ගොවිතැනට යන්න ඕන කියලා. අපි ආණ්ඩුවට නැවත නැවත කියන්නේ මේ තීරණය අකුලා ගන්න නැතිනම් ගොවියා මහ පාරට බැහැලා ආණ්ඩුව දන ගස්වන එක දන ගස්වනවා. මේ වෙනකොට කවුඩුලුවැව ව්‍යාපාරයට යූරියා මිටි 7000ක් අඩුයි. සියට 80ක් පොහොර දීලා නතර කරන්න ඕන කියලා ගත්ත තීන්දුව හින්දා මේක ඔලමොට්ටල ගොන් තකතීරු තීන්දුවක්. ඒකත් එක්ක වෙලද පොලේ පොහොර හොයා ගන්නවත් නෑ. වල් නාශක සියල්ලේම  මිල සියයට 40කින් ඉහල ගිහින් තියෙනවා.”

මින්නේරිය ව්‍යාපාර ගොවි සංවිධානයේ ගොවි නායක එම්.එස්.සරත් බණ්ඩාර

කෘෂිකර්මාන්තය ගැන හරියට දන්නේ නැති කුඹුරකට පය ගහලා නැති අය තමයි මේ තීන්දු තීරණ ගන්නේ. අද අපි භාවිත කරන්නේ දෙමුහුං බිත්තර වී පාරම්පරික ඒවා නෙමෙයි. ඒ දෙමුහුං බිත්තර වී ඇතුළු අනෙකුත් බීජවලට රසායනික පොහොර පළිබෝද නාශක අවශ්‍ය මයි. මෙක තුළ තියෙන යටි අරමුණ මොකද්ද අපට කියන්න. මීට කාලෙකට කලින් මතු වෙච්ච කරුණක් තමයි ඇමෙරිකාවේ පාං පිටි ආයෙ අපේ මිනිස්සුන්ට කවන්න කරන කුමන්ත්‍රණයක් ද කියලා අපට සැකයක් තියෙනවා. ලංකාව සහල් අතින් ස්වයං පෝෂිත වෙනවා කියන්නේ ගොවියට හොඳයි. මේ කොරෝනා වසංගතයත් එක්ක අපේ රටේ මිනිස්සු යන්තංවත් ගැටගහගත්තේ අපේ හාල් ටික තිබ්බ නිසා. මේ හාලුත් නැති වුණොත් මොනවද හෙට කන්නේ. පිට රටින් ගේන ඒවද. අද ඉන්දියාවේ මොන කොටපොස් තහනම් කරලා නෑ. අපි මිරිස් ගේන්නෙ ඉන්දියාවෙන් පරිප්පු ගේන්නේ ඉන්දියාවෙන්. මේවට කෘෂි රසායන යොදනවා. ඒ කියන්නේ ලෝකේ තහනම් කරලා තියෙන වස විසත් යොදනවා. ඒවා ගෙන්නලා කන්න දෙන්නේ වස නෙමෙයි ද?”

මෙහිදී තවත් ගොවිනායකයින් කිහිප දෙනෙක් ම අදහස් දැක්වූහ.

 

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම