හිමිකරුවෙකු නොමැති සමාජ මාධ්‍ය ජාලා අවහිරයට කැබිනට් අනුමැතිය – ජනමාධ්‍ය ඇමති

හිමිකරුවෙකු හදුනාගත නොහැකි සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා අනුමැතිය හිමිවී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකැවැල්ල මහතා පැවසීය.

සමාජ මාධ්‍ය මගින් සිදුකරන විචේචන සම්බන්ධයෙන් රජයට කිසිදු ගැටලුවක් නොමැති නමුත් හිමිකරුවෙකු නොමැතිව සිදුකරන විවේචන සම්බන්ධ වගකීම් දරන්නේ කවුරුන්ද යන්න ගැටලුවක් වී ඇතැයි මහනුවර දී මාධ්‍ය හමුවේ ඊයේ (10)  ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

මෙරට සමාජ මාධ්‍යවලින් සියයට 17ක් පමණ හිමිකාරීත්වය නොමැති මාධ්‍ය බව හදුනාගෙන ඇතැයි කී අමාත්‍යවරයා අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා සමඟ එක්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව සඳහා අනුමැතිය හිමිවූ බව ප්‍රකාශ කළේය.

ඕස්ට්‍රේලියාව වැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විසින් හිමිකරුවන් නොමැති මෙවැනි සමාජ මාධ්‍ය නියාමය කර ඇතැයි කී ඒ මහතා, ඉහළ ප්‍රජානත්ත්‍රවාදය ක්‍රියාත්මක රටවල් සමාජ මාධ්‍ය පාලනයට නීති ක්‍රියාත්මක කරන බව කීවේය.

යම් පුද්ගලයෙකුට චෝදනාවක් කරන විට ඊට පිළිතුරු දීමේ අයිතිය මෙවැනි මාධ්‍ය තුළින් හිමිනොවීම නිසා පාර්ශව ගණනාවකට අසාධාරණයක් සිදුවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවැනි මාධ්‍ය නිසා නීත්‍යානුකූලව පවත්වාගෙන යනු ලබන සමාජ මාධ්‍ය හිමිකරුවන් ද අසීරුතාවට පත් වන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සදහන් කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම