රිෂාඩ්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපති උපදෙස්වත් නැතිව – නීතීඥ රුෂ්ඩි හබීබ්

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන්වත් අත්අඩංගුවට ගැනීමට නිර්දේශ කර නොමැති අවස්ථාවක අධිකරණයෙන් හෝ නීතිපතිවරයාගෙන්වත් උපදෙස් නොගෙන පරිපාලනමය හා දේශපාලන හේතුන් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටින බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිල නීතීඥ රුෂ්ඩි හබීබ් මහතා පවසයි.

ඔහු බව කියා සිටියේ සමස්ත ලංකා මහජන කොංග්‍රස විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ නීතීඥ රුෂ්ඩි හබීබ් මහතා,

ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවෙන් කර ඇති අනාවරණ සහ නිර්දේශ ක්‍රියාත්මක නොකර, ඒවා යටපත් කරමින් විවිධ කෝණවලින් සිදු කරන පරීක්ෂණ ගැන අපට ගැටළුවක් තියෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන පරිදි ව්‍යවහාරික හෝ විද්‍යාත්මක සාක්ෂි තියෙනවනම් ඒවා අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. එසේ නොකර රඳවා තබා ගැනීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක්

නීතිපතිවරයාගේ උපදෙස් මත, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගෙන ඇති බවට සඳහන් වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා, යුධ හමුදාපතිතුමා ඇතුළු විශාල පිරිසක් සාක්ෂි දුන්නා. පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවක් හෝ, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්දයෙන් විමර්ශන කළ යුතු බවට ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවේ කිසිදු තැනක සඳහන් නැහැ. එකී වාර්තාව අනුව යුධ හමුදාපතිතුමාට ලබා දුන් දුරකථන ඇමතුමක් සහ ක්ලෝසස් සමාගමට තඹ ලබාදීම පිළිබඳ කරුණුවලට අදාළ ව අල්ලස් දූෂණ කොමිසම යටතේ විමර්ශනය කළ යුතු බවට විමර්ශන වාර්තාවේ සඳහන් වුණා.

කෙසේ නමුත් මේ වන විට හදිසියේම රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ දක්වා අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදුවී නැහැ. රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන්නේ ආරක්ෂක ඇමතිවරයාගේ මැදිහත්වීමකින් කියන කාරණය අපි මතු කරනවා. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා අධිකරණයකින් සැකකරුවෙක් හෝ චූදිතයෙක් ලෙස නම් කර නැහැ. ඒ නිසා එතුමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමේ අවස්ථාව ලබා දිය යුතුයි. පාර්ලිමේන්තු රැස්වීමට සහභාගීවීමට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට කිසිදු බාධාවක් නොමැති බව නීතිපතිවරයා නිවේදනය කර තිබෙනවා. එවැනි අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු රැගෙන ඒම සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රතික්ක්‍ෂේප කර තිබෙනවා. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ඒම විමර්ශනවලට බාධාවක් බව මහජන සාමය පිළිබඳ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා ත්‍රස්තවාදී සංවිධානයක කෙනෙක් නෙවෙයි. ප්‍රජාත්නත්‍රවාදී දේශපාලන නායකයෙක්.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කරමින් කටයුතු කරන ආකාරයක් පෙනී යනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධියේදී ක්‍රියාකරන ආකාරය පිළිබඳ සෑහීමකට පත්වෙන්න බැහැ. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණීම, දේශපාලන මැදිහත්වීමකින් නතර කරන්න ක්‍රියාකරන බව අපට පෙනෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීම තුළ  මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා.

Social Sharing
නවතම