එන්නත් මාත්‍රා මිලියන තුනක් එනවා, අවශ්‍ය මුදල් රජය සතුයි! – ඇමති කෙහෙළිය

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට සරිලන පරිදි කොරෝනා මර්ධන එන්නත් සියල්ල ඉදිරි මාස තුළ ඇතුලත මෙරටට ගෙන එන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන තුනක් කඩිනමින් හිමිවීමට නියමිත බවත් එහිදී මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික සඳහා  ප්‍රමුඛතාවක් හිමිවන බව අද (09)  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන විශේෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එන්නත් ලබා ගැනීම සඳහා රජයට මුදල් නැතැයි ඇතැම් පාර්ශව නඟන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව කී අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට සරිලන පරිදි එන්නත් ලබාදීමට මැදිහත්වන බව ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කර ඇතැයි ද පැවසීය.

එන්නත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් රජය සතු යැයි කී ඒ මහතා එන්නත් වෙනුවෙන් අත්තිකාරම් මුදල් අවශ්‍ය නොවන බවත් අවශ්‍ය එන්නත් තොග කඩිනමින් ලබා දෙන බව අදාල ආයතන මෙරටට දැනුම් දී ඇති බව ද කීවේය.

දිවයින පුරා විසිරී සිටින 7000ක් පමණ වන මාධ්‍යවේදීන්ට ද මෙම එන්නත ලබාදීමට තීරණය වී ඇතැයි කී අමාත්‍යවරයා, රටේ සියලු ජනතාවට එන්නත ලබාදීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව යැයි ද සදහන් කළේය.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා  සම්පූර්ණයෙන්ම රට වසා දැමීම රජයේ අපේක්ෂාව නොවන බව කී ඒ මහතා, වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශවල නිර්දේශ මත අවශ්‍ය පරිදි හුදලකා සහ සංචරණ සීමා පැනවීම් කරන බව ද කීවේය.

ඉන්දියාවේ සිට මෙරටට කිසිඳු අයෙකු ඇතුල් කර නොගන්නා බවත් මුහුදු ආශ්‍රීතව සිදුවන සංක්‍රමණ වැටලීම් සඳහා නාවික හමුදාව විශේෂ මෙහෙයුම් සිදුකරන බව ද අමාත්‍යවරයා සදහන් පැවසීය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම