ගාමිණී ලොකුගේ : මහ පොළොවේ දේශපාලකයෙක්?

ගාමිණී ලොකුගේ ලංකාවේ ප්‍රවාහන ඇමතිවරයාය. ඔහු ගැන මේ දිනවල කතාබහක් නිර්මාණය වී ඇත. ඒ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා කිරීම ලිහිල් කිරීමට ඔහු විසින් සිදු කරන ලද බලපෑමක් ගැනය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔහුගේ යටකී බලපෑම සම්බන්ධව දරුණු විවේචනයක් එල්ල කරමින් සිටී. ආණ්ඩුවට පක්ෂපාතීත්වයක් දක්වන මැද පන්තික ජනයාගේ විවේචනය ගාමිණී ලොකුගේ මැතිතුමාට එල්ල වෙමින් තිබේ. ඔවුන් ඉතා ඕනෑකමින් ප්‍රදේශයන් හුදකලා කිරීමේ වගකීම දරණ ජනාධිපතිවරයා, ජනපතිගේ විශ්වසනීය සගයා වූ හමුදාපතිවරයා නායකත්වය දරණ කොවිඩ් මර්ධන බලකාය, පොලිස් ඇමතිවරයා මගහරිමින් මහපොළොවේ දේශපාලනය කරන ගාමිණී ලොකුගේ ඇමතිවරයාට එරෙහිව සිය අවි අමෝරාගෙන සිටියි.

ගාමිණි ලොකුගේ යනු ලංකාවේ මහපොළොවේ දේශපාලනය කරන්නෙකි. ඔහු නියෝජනය කරන්නේ ලංකාවේ ජනතාවයි. ඉහත කී සිදුවීම නිසා ඇතමුන්ගේ ගර්හාවට ලක් වුවද ඒ ජනතාවගේම පිළිබිඹුව ගාමිණී ලොකුගේය. ජේ.ආර්ට, ප්‍රේමදාසට, රනිල්ට ගාමිණී ලොකුගේ අවශ්‍ය ඒ නිසා වන අතර මේ සියළුම දෙනාටම වඩා මහින්ද රාජපක්ෂට ගාමිණී ලොකුගේ වටින්නේ ඒ නිසාය. කිසිදු විශේෂ විදග්ධ බවක් නොමැතිව උගත් බුද්ධිමත් යැයි කියමින් බොරු සෙප්පට විජ්ජා මාධ්‍ය ඉදිරියේ නොපෙන්වා, එමෙන්ම මීඩියා චරිතයක් බවට පත් නොවී වසර තිහකටත් වඩා කාලයක් ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකෙන් පාර්ලිමේන්තුවට පත් වීමට ගාමිණී ලොකුගේට හැකියාව ලැබුණේ මහජනයාගේ ඇත්ත ජනමනස හදුනා ගැනීමට ඔහු සමත් වූ නිසාය. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය වැනි අතිශය තරගකාරී දිස්ත්‍රික්කයක ඔහුට වඩා මුදල් විසිකල, මීඩියා පොරවල් වූ, ලොකු ගස් පෙරෙළෙද්දී ගාමිණී ලොකුගේ හොඳින් මුල් ඇදුනු වෘක්ෂයක් ලෙස නොසැලී සිටියි.

ගාමිණී ලොකුගේට කැස්බෑව ආසනයේ බොහෝ දෙනා පවසන්නේ ගාමිණී ලොක්කා ලෙසය. කුමන හෝ ප්‍රශ්නයක් පැමිණීයද ලොක්කට කියලා බලමු යනුවෙන් කීම කැස්බෑව ආසනයේ ජනප්‍රිය කතාවකි. ගාමිණී ලොකුගේ ඇත්තටම ලොක්කෙකි. ඔහු 1977 සිට 1994 දක්වා පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ බලය ප්‍රාදේශීයව මුදා හැරීමේ සුපිරි වැඩකරුවෙකි. එම කාලය පුරාවට කැස්බෑව හොල්ලන් සිටියේ ලොකුගේ හා සිරිනාල් ද මැල්ය. මැල් මහත්තයාද කැස්බෑවේ ලොක්කෙකි. නමුත් ඔහු ලොකුගේ තරම් දේශපාලනයේ දක්ෂයෙක් නොවේ. මැල් එ.ජා.ප ය අතහැර ගියේ නැත. ලොකුගේ ගියේය. නමුත් අදටත් කැස්බෑවේ සිරිනාල් ද මැල් හා ලොකුගේ අතර සම්බන්ධය ඉතාමත් ශක්තිමත්ය. එය කැස්බෑවේ මිනිස්සු දනී. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයකුව සිටියදී කැස්බෑවේ යූ.ඇන්.පී කාරයන් ඔවුන්ගේ වැඩ කටයුතු කරගත්තේ මැල් මහත්තයා හරහා ලොකුගේ ඇමතිතුමාට කතා කිරීම මගිනි. මැල් මහත්තයාට කියලා ලොක්කට කතා කරවමු කැස්බෑවේ යූ.ඇන්.පී කාරයන් අතර ඒ කාලයේ ජනප්‍රිය කතාවකි. වරක් එක්සත් ජාතික පක්ෂයෙන් කැස්බෑව නගර සභාවට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ලියුම්කරුගේ මිතුරකුට අයත් පිළියන්දල නගර මධ්‍යයේ පිහිටි ඔහුගේ ඉඩමේ ගොඩනැගිල්ලක් සෑදීමට අවශ්‍ය විය. කැස්බෑව නගර සභාවේ සභාපති එවකට ලක්ෂ්මන් පෙරේරාය. ගොඩනැගිල්ල සඳහා අනුමැතිය දීම දිනෙන් දින ප්‍රමාද කිරීම නගර සභාවෙන් සිදු කරන ලදී. ලොකුගේ හරහා ලක්ෂ්මන් ‍පෙරේරා ඇමතීමෙන් ගොඩනැගිල්ලට අනුමැතිය දීම ඉක්මනින් කර ගැනීමට ඔහුට හැකි විය. වරක් ගාමිණී ලොකුගේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක නිරෝෂන් පාදුක්කට කණේ පාරක් ගැසුවේ බොරලැස්ගමුවේදීය. නිරෝෂන් පාදුක්ක කලක් ලොකුගේගේ ගෝලයෙකි. ලොකුගේ සිදු කලේ කතා කරන්නට ආ පාදුක්කට ගුරු ගෝල සම්බන්ධය කියා දීමය. ලොකුගේට අනුව එහෙම කණට ගැසිය හැක. ඒ ආකාරයේ වැඩවසම් සම්බන්ධතාවලට ලංකාවේ ජනයාද කැමතිය. කැස්බෑවේ ජනයාද කැමතිය.

1977 සිට 1994 කාලයේ ලොකුගේ විරුද්ධවාදී දේශපාලනය මර්ධනය කිරීමට රාජ්‍ය නායකයන්ගේ හයියද රැගෙන බොහෝ දේ කළ බවට කැස්බෑවේ මිනිස්සු දනී. එවකට ආණ්ඩුව බරපතළ ලෙස විවේචනය කල එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගේ ධර්මිෂ්ඨ සමාජය කෘතිය එළි දක්වන අවස්ථාවට පහර දීමට මැර කණ්ඩායම් ගියේ කැස්බෑවෙන් බවට කියවේ. බස් සැපයුනේ කැස්බෑව ඩිපෝවෙන් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ගේ අදහස. මාදුළුවාවේ සෝභිත හිමිට කණේ පහරක් එල්ල කලේ එහිදීය. සරත්චන්ද්‍රව කාණුවක දමාගෙන පහර දුන්නේ එහිදීය. යාපනය පුස්තකාලය ගිනිතැබීම, යාපනයේ සංවර්ධන සභා ඡන්දය හොර මගඩියක් කිරීම සම්බන්ධයෙන් කැස්බෑවට සම්බන්ධයක් තිබේ. එම ක්‍රියා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂ දේශපාලඥයන්ද, කැස්බෑවේ ශ්‍රී ලංකා කාරයන්ද චෝදනා කලේ ලොකුගේට හා මැල්ටය. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩික්සන් ජේ පෙරේරාට පිළියන්දල ටවුමේදී පහර දී ඇදුම් පවා ගලවා දැමීම පිළිබඳව එවකට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂය චෝදනා කලේ ගාමිණී ලොකුගේටය. අවසානයේ ලොකුගේ ගේ බලය හමුවේ ඩික්සන් විසි වී ගියේය. ඩික්සන් විසි වී ගියේ යූ.ඇන්.පී ආණ්ඩු කාලයේ නොව 1994 පිහිටවූ ඩික්සන්ලාගේ ආණ්ඩු කාලයේය. 1994දී ආණ්ඩුව පිහටවූවද ලොකුගේට අභියෝග කිරීමට ඩික්සන්ට නොහැකි විය. සමුපාකාර ඡන්දයක් පවා ලොකුගේගෙ බලපෑමෙන් වියුක්ත කිරීමට ඩික්සන්ට නොහැකි විය. අවසානයේ ඩික්සන් ඉවත් විය. ලොකුගේ ඉතිරි විය.

කැස්බෑවේ ලොකුගේට අභියෝග කල එකම දේශපාලකයා චන්දන කත්‍රිආරච්චිය. චන්ද්‍රිකාගේ හයියෙන් චන්දන කත්‍රිආරච්චි කැස්බෑවට බැස්සේය. ලොකුගේට අභියෝග කලේය. කැස්බෑවේ ශ්‍රී ලංකා කාරයන්ට නව පණක් ලැබුණි. චන්දනව පළාත් සභා මැතිවරණයෙන් ඉතා ඉහළින් ජයග්‍රහණය කරවූ කැස්බෑවේ ජනයා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවටත් පත් කරන ලදී. ඇමතිකම්ද ඔහුට ලැබුණි. එක් අවස්ථාවක සමුපකාර ඡන්දයකට ලොකුගේ බලපෑම් කරද්දී චන්දන පිස්තෝලද රැගෙන වැඩේට බැස්සේය. වෙඩි තැබීම්ද සිදු විය. ලොකුගේ පසු බැස්සේය. චන්දනට මිනීමැරුම් චෝදනා එල්ල විය. නඩුව පසුව මොහාන් පීරිස් නීතිපති සමයේ ඉල්ලා අස් කර ගන්නා ලදී. කෙසේ හෝ ලොකුගේ අඩියක් හෝ පසුපසට ගත්තේ චන්දන ඉදිරියේදී පමණි. නමුත් චන්දන ලොකුගේ මෙන් මහජන හැගීම් හඳුනා ගත්තේ නැත. ලොකුගේ මොන තරම් ලොක්කෙක් වුනත් මහජනයා සමග සිටින්නෙකි. ඔහුව හමුවන්නට එන මිනිසෙකුට ඔහු බැන්නද ඒ බැනීම තුළත් මහජනයාට හිතවත් වීමේ ගුණයක් ඔහු සතුව ඇත. ලොක්කෙකුගෙන් බැනුම් ඇසීමට ලංකාවේ මිනිසුන් කැමතියි. ඒ ලංකාවේ මිනිසුන් තුළ ඇති වැඩවසම් සම්බන්ධතාවලට ඇති ලැදියාවයි. චන්දනට ලොකුගේ විය නොහැක. චන්දන විය යුතුව තිබුණේ චන්දනයි. නමුත් ලොකුගේගේ පාට් දැමීමට ගොස් චන්දන මහජනයා අතර අප්‍රසාදයට ලක් විය. ඔහු පාර්ලිමේන්තුවෙන් විසි විය. ලොකුගේ පාර්ලිමේන්තුවට පත් විය.

ලොකුගේ කරු ජයසූරිය සමග මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට සම්බන්ධ විය. ලොකුගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමීපතමයෙක් විය. එදා මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂ ක්‍රියාකාරිකයන්ගේ අතිවිශාල ගර්හාවකට පත් මහින්ද රාජපක්ෂගේ සමීපතමයෙකු වීම කැස්බෑවේ ශ්‍රී ලංකාකාරයන්ටත් හිතා ගත නොහැකි විය. ලොකුගේ ගේ මර්ධනයට කලක් තිස්සේ ලක් වුනු ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්, ශාඛා සමිති බලමණ්ඩල අවනත කර ගැනීමට ලොකුගේට ගියේ ඉතා කෙටි කලකි. කැස්බෑවේ ආසන සංවිධායක ධූරය චන්දනගෙන් ගැලවී ලොකුගේට ලැබුණි. චන්දන ඉතා කුඩා ඡන්ද පදනමක් සහිත රත්මලානට විසි විය. 2010 පැවැති පාර්ලිමේන්තු ඡන්දයේදී බොහෝ දෙනා සිතුවේ ලොකුගේ පරාජය වී චන්දන පාර්ලිමේන්තුවට යනු ඇතැයි කියාය. චන්දන බැසිල් රාජපක්ෂ සමග සිටින ඡායාරූප ඇති අතිවිශාල කටවුට් කැස්බෑවේ ඉදි වන්නට විය. චන්දන ගෙයක් ගෙයක් ගානේ යන්නට විය. ලොකුගේට අභියෝගයක් වද්දී මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිවරයා කැස්බෑවට බැස්සේය. ලොකුගේව නිරන්තරයෙන් ළගට ගත්තේය. අවසන් රැස්වීමද කැස්බෑවට ලබා දෙන ලදී. ලොකුගේගේ ඡන්ද පදනම ඉහළ යන ලදී. අවසානයේ ලොකුගේ කොළඹ දිස්ත්‍රික්යෙන් ජයග්‍රහණය කල අන්තිමයා ලෙස පාර්ලිමේන්තුවට ඇතුල් විය.

2015 පාර්ලිමේන්තු ඡන්දය පවතින විට කැස්බෑවේ ලොකුගේ ශ්‍රී ලංකාකාරයන්ට එරෙහිව දියක් කල මර්ධනය ඔවුන්ටම අමතකය. ඔහු රාජපක්ෂ පවුලේ සමීපතමයෙක් විය. මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ පසු ඔහුව බැලීමට මහජනතාව රැගෙන කාල්ටන් ගිය පළමු පුද්ගලයන්ගෙන් කෙනෙක් වූයේ ගාමිණී ලොකුගේය. ඔහු ගියේ කැස්බෑවේ මහ ජන ගගක්ද සමගය. ඒ වන විට කැස්බෑවේ පළාත් සභා මන්ත්‍රීවරුන් නගර සභා මන්ත්‍රීවරුන් සියල්ල අවනත කර ගැනීමට ලොකුගේ සමත් වී අවසානය. 2015 දී ද ඔහු පාර්ලිමේන්තුවට පත් විය. පසුගිය මහ මැතිවරණයේදී වියත් උගත් රැල්ලක් නිර්මාණය විය. කැස්බෑව ආසනයේ විශාලව ව්‍යාප්ත වී ඇති අළුත් මැද පන්තියේ ඡන්ද සරත් වීරසේකර, විමල් වීරවංශ, ගම්මන්පිළ, විජේදාස රාජපක්ෂ වැන්නන් ඩැහැ ගන්නා බව කල් තියාම ලොකුගේ දැන සිටියේය. ඔහු කැස්බෑව ආසනයේ පරිධියේ ඡන්ද ආමන්ත්‍රණය කළේය. යාබද ආසනවලට බැස්සේය. කැස්බෑව ආසනයෙන් ඡන්ද ප්‍රමාණය අඩු වද්දී ඔහු අනෙක් ආසනයන්ගෙන් ඒ ප්‍රමාණය එක් කරගෙන නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට සමත් විය. ඒ ලොකුගේ ගේ දක්ෂකමයි.

ලොකුගේ නියෝජනය කරන්නේ කිසිදු වගවිභාගයක් නොමැතිව අහසින් පාත් වුනු සරත් වීරසේකර වැනි මීඩියා ෂෝ දමන්නෙකුටත්, මයික්‍රෆෝන ඉදිරියේ බෙරිහන් දෙමින් අනියත බිය පතුරවන විමල් වීරවංශ වැන්නන්ටත්, පන්සල් ඉදිරියට දමා දේශපාලනය කල රැවටිලි කාර විජේදාස රාජපක්ෂ වැන්නන්ටත් ඡන්දය දුන් තමන් බුද්ධිමත් කියනා කැස්බෑවේ මැද පාන්තික ජනයා නොවේ. ඔහු නියෝජනය කරන ජනයාට අවශ්‍ය වන්නේ ලොකුගේ, ලොකුගේ ලෙස දැකීමටය. මැද පන්තිකයන්ට අවශ්‍ය ලෙස ලොකුගේ දැකීමට නොවේ. මැද පන්තික තමන් මහා බුද්ධිමතුන් යැයි කී ජනයා ඉහත කී සිදුවීමේදී ඇගිල්ල දිගු කල යුත්තේ තමන් මාර කොන්ද පණ ඇති මහා චරිත යැයි සිතා ඡන්දය ලබා දුන් ජනපති ගෝඨාභය රාජපක්ෂට, ඔහුගේ විශ්වාසවන්තයා වූ කොවිඩ් මර්ධන ප්‍රධානී හමුදාපතිට, තමන් ඡන්දය ලබා දුන් පොලිස් ඇමති වීරසේකර වැන්නන්ටය. ලොකුගේ වසර තිහකටත් අධික කාලයක් බලයේ ඉන්නේ ලොකුගේගේ ක්‍රියාකලාපයන් නිසාය. මහජනයා බලයට පත් කරන්නේ ඒ ලොකුගේව මිස වෙනත් අයකු නොවේ. කැස්බෑවේ අළුත් මැද පන්තිය සිතා සිටියේ මිලිටරි විනයක් සහිත ගෝඨාභය ජනාධිපතිවරයාට හා ඔහුගේ මීඩියා ශෝ දමන්නන්ට ලොකුගේ වැනි මහ පොළොවේ දේශපාලනය කරන්නෙක් පාලනය කර ගත හැකි වනු ඇති බවය. නිරන්තරයෙන් රැවටෙමින් තමන් බුද්ධිමත් යැයි කියනා උදේ සිට රෑ වන තුරු ඇතිපදම් මීඩියා ශෝ වලින් ලෝකය දකින කැස්බෑවේ හා කොළඹ දිස්ත්‍රික්කයේ අළුත් මැද පන්තියේ රැවටීම නැවත එළිදරව් කිරීම සම්බන්ධයෙන් ලොකුගේට ස්තූති කල යුතුය.

-දුලාන් දසනායක-

Social Sharing
නවතම විශේෂාංග