ඇමැති ගාමිණී ලොකුගේ ගැන පොලිස්පතිට පැමිණිල්ලක්!

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයක් වෙනස්  කරමින් මාරාන්තික කොව්ඩ් 19 රෝගය ව්‍යාප්ත කිරීම සදහා චේතනාන්විතව  කටයුතු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන ක්‍රියාධරයන් පිරිසක් පොලිස්පතිවරයාට පැමිණිලි  කර තිබේ.

කොව්ඩ් වසන්ගතය පැතිරීමට පහසුකම් සැලසූ බවට එසේ චෝදනා එල්ලවී ඇත්තේ ප්‍රවාහණ ඇමැති ගාමිණී ලොකුගේටය.

සිය පැමිණිල්ල මගින් ජන බල පවුර සංවිධානයේ ක්‍රියාධරයන් පෙන්වා දී ඇත්තේ වසංගතය පාලනය වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හුදකලා කළ ප්‍රදේශයක් ඔහුගේ අනුමැතියකින් තොරව වෙනත් පාර්ශවයක බලපෑම් මත ඉවත් කර තිබෙන බවයි.

“2021.05.03 වන දින හෝ ආසන්න දිනයක කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සමන්තිකා විජේසුන්දර විසින් පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හුදකලා කරන ලෙස (lock down) කරන ලද ඉල්ලීම අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් එම ප්‍රදේශය හුදකලා කර ඇති නමුත්, පැය කිහිපයකින් පසු එම හුදකලාභාවය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අනුමැතියක් නොමැතිව වෙනත් පාර්ශවයකගේ බලපෑම් මත ඉවත් කර තිබේ.”

පොලිස්පතිවරයාට පැමිණිල්ල යොමු කරන වැල්ලගේ සුදේශ් නන්දිමාල් සිල්වා, මල්ලව ආරච්චි ගමගේ අසේල සම්පත් හා නිෂාර් මවුලානා යන සිවිල් ක්‍රියාධරයන් පෙන්වා දෙන්නේ පවතින නීතිය අනුව යම් ප්‍රදේශයක හුදකලාභාවය පැනවීම හෝ ඉවත් කිරීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ කාර්යක් මෙන්ම බලතලයක් වන නමුත් වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජෙනරාල් වන අසේල ගුණවර්ධන විසින්  එම ප්‍රදේශයේ හුදකලා බව ඉවත් කිරීමේ   තිරණයක් නොගත්  බව ඔහු විසින් ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර ඇති බවයි.

එවැනි කටයුත්තක් සිදු කෙරුනේ නම් එය වරදක් බව අධ්‍යක්ෂවරයා විසින් ප්‍රකාශ කොට තිබේ.

රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට  කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද සිවිල් සංවිධාන ක්‍රියාධරයන්  පොලිස්පතිවරයාගේ අවධානය යොමු කර තිබේ.

“මේ අතර එම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ගාමිණී ලොකුගේ විසින් ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ තමන් එම ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වශයෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයන් සොයාබලා අවශ්‍ය කටයුතු කළ යුතු බවයි. එසේම ඒ සදහා ඔහුට අයිතියක් ඇති බවද එහිදී පවසා ඇත.  ”

ඒ අනුව මන්ත්‍රීවරයා පිළියන්දල ප්‍රදේශයේ හුදකලා බව ඉවත් කිරීමට කටයුතු කළේ නම් එය නීතිවිරෝධි ක්‍රියාවක් බවට පැමිණිලිකාර  සිවිල් සංවිධාන ක්‍රියාධරයෝ පෙන්වා දෙති.

“එවැනි ක්‍රියාවන් 1897 අංක 03 දරණ නිරෝධායන ආඥා පනතේ 4 වන වගන්තිය යටතේ ගැනෙන වරදකි.”

එමෙන්ම තමන්ට බලය නැති ක්‍රියාවක් කරමින් එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත මෙසේ චේතනාන්විතව අවදානමකට තබමින් කටයුතු කිරීමෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත මාරාන්තික කොරෝනා රෝගයට නිරාවරණය කිරීම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ එහි 300 වන වගන්තිය යටතේ ද ගැනෙන වරදක් බව පැමිණිලිකරුවන් පෙන්වා දෙති.

“එනම් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වන වගන්තියේ සදහන් වන්නේ මිනිමැරීමට තැත් කිරීමේ වරදයි ”

පැමිණිලිකාර සිවිල් සංවිධාන ක්‍රියාධරයන් තිදෙනා සිය පැමිණිල්ල මගින් පොලිස්පතිවරයාගෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය අනුව අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරවලට සහනයක් සැලසීම වෙනුවෙන් ලොක්ඩවුන් තත්වය ලිහිල් කිරීමට තමන් මැදිහත් වූ බව අමාත්‍යවරයා පිළිගෙන තිබුණි.

“සෞඛ්‍ය අංශ මගින් ලබා ගත් තොරතුරු මත කොවිඩ් රෝගයට විශාල ලෙස ලක් වී සිටින ප්‍රදේශ තව දුරටත් එම හුදකලා තත්වයේ පවත්වාගෙන යාම හා ඉතා අවම ලෙස රෝගය ව්‍යප්ත වි ඇති ග්‍රාම නිලධාරින් වසම් හුදකලා බවින් නිදහස් කර දෙන ලෙස ප්‍රදේශයේ මහජන නියෝජිතයා ලෙස ප්‍රදේශවාසින් මාගෙන් කරන ලද ඉල්ලිම සලකා බලා එයට අවශ්‍ය විසදුමක් ලබා දිමට සෞඛ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කිරිමක් මා විසින් කල බව පමණක් දන්වමි,” යි ගාමිණී ලොකුගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබුණි.

Social Sharing
නවතම