ඔන්ලයින් අධ්‍යාපනය බලහත්කාර අධීක්ෂණයට ගුරු සංගම් විරෝධය

තමන්ගේ මුදල් වියදම් කරගෙන ස්ව කැමැත්තෙන් දරුවන්ට ලබා දෙන ඔන්ලයින් අධ්‍යාපනය බලහත්කාරයෙන් අධීක්ෂණය කිරීමට කිසිදු අයිතියක් අධ්‍යාපන අමාත්‍යාංශයට නැතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි.

අමාත්‍යාංශය මේ ආකාරයෙන් ගුරුවරුන්ට බල කරන්නේ නම් වෘත්තිය සමිතියක් ලෙස මේ ක්‍රියාවලියෙන් බවත් වෙන්න කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

ගිය වසරේ පාසල් පැවැත්වූයේ දින 71 ක් පමණක් බවත් මේ වසරේද දරුවන් හතලිස් තුන් ලක්ෂයක්ගේ පාසල් අධ්‍යාපන කාලය අහිමි වෙමින් ඇතැයිද මෙය බරපතල කාරණාවක් බවත් ඔහු පවසයි.

අධ්‍යාපන ලේකම්වරයා පවසන ආකාරයට ළමයින්ට දිගින් දිගටම ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන අතර එය අධීක්ෂණය කරන බවත් පැවසේ. මේ අධීක්ෂණ කටයුතු සඳහා මේ වන විට ලිඛිතව ලිපි ලැබී ඇතැයිද ඒ සඳහා ගුරුවරුන් පත් කර ඇති බවද ඒ මහතා පවසයි.

නමුත් ගුරුවරුන්ට ඔන්ලයින් සඳහා යන ඩේටා වලට කිසිදු මුදලක් මෙතෙක් ලබා දී නැති බවත් ගුරුවරුන් මෙතෙක් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කළේ ඔවුන්ගේ පෞද්ගලික මුදලින් බවත් පෙන්වා දෙන ජෝශප් ස්ටාර්ලින් මහතා සිහිපත් කරන්නේ වරක් අධ්‍යාපන ලේකම්වරයා විසින්ම මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රියාවලිය අසාර්ථක බව පැවසු බවය.

එවන් අසාර්ථක ක්‍රියාවලියක් බලහත්කාරයෙන් කරවන්නේ කුමටදැයි ප්‍රශ්න කර සිටින ඒ මහතා පවසන්නේ අධීක්ෂණය කරන්නේ නම් ඒ යන ඩේටා වලට මුදල් දිය යුතු බවත්, අදාල උපකරණ ලබා දී පහසුකම් සැපයිය යුතු බවත්ය.

අවම වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරුන්ට අවශ්‍ය ඩේටා පහසුකම් ලබා දීම වෙනුවෙන් මෙරට සන්නිවේදන සමාගම් සමඟ සාකච්ඡා කර නැති බවත්, ගිය වසරේද දරුවන්ට අහිමි වූ අධ්‍යාපන කාලය යළි ලබා දෙන අයුරු පිලිබඳව කිසිදු සැලැස්මක්වත් නොතිබුණු බව පෙන්වා දෙන ඔහු පවසන්නේ අත්තනෝමතික තීරණ ගැනීමට නම් අමාතාංශය පියවර ගන්නා බවය.

මේ අසාර්ථක ඔන්ලයින් ක්‍රමයට වඩා රූපවාහීනි මාධ්‍ය යොදාගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සුදුසු බවත් අවධාරණය කරන ජෝශප් ස්ටාර්ලින් මහතා පවසන්නේ ලොක් ඩවුන් ප්‍රදේශ වල දරුවන්ට අද ඩේටා කාඩ් එකක්වත් ගැනීමට යාමට තැනක් නැති බවය.

-ශානි-

Social Sharing
නවතම