මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කරුණු තවමත් ඉටු වී නෑ! – SLCAT

ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් 2017-2021 දක්වා වූ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ වධහිංසාවෙන් තොරවීම සම්බන්ධ බොහෝ කරුණු මේ වන තෙක් ඉටුවී නොමැති බවත් එහි ඇතුළත් කරුණු නොපමාව ඉටු කිරීමට කටයුතු කරන ලෙසත් වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලංකා එකමුතුව රජයට කියා සිටියි.

අදට (ජූනි 26) යෙදී ඇති වධහිංසාවට හා කෲර, අමානුෂික, අවමන් සහගත සැලකීම්වලට ලක්වූ වින්දිතයන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලංකා එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත.

හිංසනය සම්බන්ධයෙන් දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ශ්‍රී ලංකාව හිංසනයෙන් විනිර්මුක්ත ශිෂ්ට සම්පන්න රටක් බවට පත් කිරීම ශ්‍රී ලංකාවේ රජයන් පැහැරහැර ඇති වගකීම්වලින් එකක් බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව නිරීක්ෂණය  කර තිබේ.

ශ්‍රී ලංකාව වධහිංසාවට හා කෲර අමානුෂික අවමන් සහගත සැලකීම්වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකරුවකු වන්නේ 1994 වසරේ සිට වුවත්, වධහිංසා පිටුදැකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇත්තේ යහපත් ඉතිහාසයක් නොවන බවත් වධහිංසාවෙන් තොරව ජීවත්වීමට ඇති අයිතිය මූලික අයිතියක් බවට පත් වුයේ 1978 තරම් ඈත අතීතයේ වුවද, අදටත් රාජ්‍ය අංශයන්ගෙන් සිදුවන වධහිංසනයන් තීරණාත්මක අගයකින් අඩුවී නොමැති බව ප්‍රකාශ කිරීමට සිදුවීම කණගාටුදායක බවද මෙම නිවේදනයෙන් පෙන්වා දී ඇත.

විශේෂයෙන් කොවිඩ්-19 වෛරසය හේතුකොටගෙන ඇඳිරි නීතිය පනවා, රට වසා දමා තිබු තත්ත්වය තුළ පොලීසියේ නිලධාරීන් විසින් සාමාන්‍ය පුරවැසියන් කෙරෙහි ප්‍රසිද්ධියේ හිංසනය මුදාහැරීමත්, ඒ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ විනය පරීක්ෂණ පවා නවතා දැමීමත්, හිංසනයට රාජ්‍ය අනුග්‍රහය ලැබීම කියාපාන බවත්  පොලීසියේ හා මිලිටරියේ නිලධාරීන්ගෙන් මෙම කාල සීමාව තුළ සාමාන්‍ය පුද්ගලයන් කෙරෙහි සිදුවු හිංසනයන් පිළිබඳ පැමිණිලි ගනණාවක් ලැබී ඇති අතර වර්ධනය වන එම තත්ත්වය පිළිබඳතම සංවිධානය  දැඩි අවධානයෙන් පසුවෙන බවද අවධාරණය කර සිටියි.

සාමාන්‍ය ජනයා කෙරෙහි හිංසනය මුදාහැරීමේ පැමිණිලි ලැබෙන අතරතුර පොලිස් නිලධාරීන් විසින් තමන්ගේම පොලීසියේ නිලධාරියකුට පහරදී හිංසාවට පත්කර ව්‍යාජ පැමිණිල්ලක් ගොනුකිරීම සම්බන්ධව පැමිණිල්ලක්ද යොමු වී ඇතැයිද මෙම හිංසනයන්ට අමතරව බන්ධනාගාරයන් තුළ සිදු වූ හිංසනයන් සම්බන්ධයෙන්ද අප වෙත පැමිණිලි ලැබී ඇති බවත්  ඒ අතර අනුරාධපුර හා මහර බන්ධනාගාරයන් තුළ සිදුවුණු මිනිස් ජීවිත බිලිගැනීම් පිළිබඳ තම සංවිධානයේ  දැඩි අවධානය යොමුවී ඇති බවද කියා සිටියි.

විශේෂයෙන් මෙම සිදුවීම් දෙකේදීම සිදුවී ඇත්තේ ඝාතනයන් බවට මේ වන විට ඇස දුටු සාක්ෂිකරුවන් ඉදිරිපත්වී සාක්ෂි ලබාදී ඇති බැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් මෙන්ම අපක්ෂපාතී විනිවිදභාවයෙන් යුතු විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට රජයට බලකර සිටින අතර එමෙන්ම මෙම සිදුවීම්වලට අදාලව ඇස දුටු සාක්ෂිකරුවන්ගෙන් දිව්රුම් ප්‍රකාශ ලබා ගැනීමට නිසි ක්‍රමවේදය අනුව කටයුතු කළ නීතිඥවරයාට බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරන ලද අවහිරතා සම්බන්ධයෙන්  පිළිකුලද මෙහිදි පළ කර ඇත.

නෛතික කටයුතුවලදී නීතිඥවරුන්ට බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමේ අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක් බවද මෙහිදී රජයට අවධාරණය කර ඇත.

එමෙන්ම පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් විසින් සිදු කරන ලද උද්ඝෝෂණයන්ට සිදු වූ අමානුෂික පොලිස් පහරදීමද  වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකික එකමුතුව දැඩි ලෙස හෙළා දකින අතර එහිදී නිරෝධායන නීතියේ නාමයෙන් පොලීසිය විසින් සිදු කරන ලද පහරදීම හා එයට සම්බන්ධ වූ පිරිස් අත්අඩංගුවට ගැනීම මුළුමුනින්ම කොවිඩ්-19 ආරක්ෂණ මූලධර්ම උල්ලංඝනය කිරීමක් මෙන්ම භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය, වධහිංසනයෙන් තොරවීමට ඇති අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් විය.

එහිදී අත්අඩංගුවට ගැනීම් පිළිබඳ ප්‍රශ්න කිරීමට ගිය නීතිඥවරියක අත්අඩංගුවට ගැනීම නීතිඥ වෘත්තීයේ වෘත්තීය අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවද අප රජයට පෙන්වාදෙන අතර  ඒ ආකාරයට සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අත්අඩංගුවට ගැනීම නරක පූර්වාදර්ශයක් සපයන අතර ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මකවී කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස මෙම නිවේදයෙන් රජයට අවධාරණය කර ඇත.

එමෙන්ම මේවනතෙක් කිසිදු අධිකරණයකට නොපමුණුවමින් රඳවා තබාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ තත්වය පිළිබඳවත් අපේ අවධානය යොමු කරමින් කියා ඇත්තේ  ඔහුගේ වෘත්තීය අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසද,  ඔහුට නීතිඥවරයකුගේ සහය ලබාගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසත්, වහාම ඔහුව අධිකරණයක් වෙත ඉදිරිපත් කරන ලෙසත් රජයට බලකර සිටියි.

දිනෙන් දින මේ ආකාරයට උත්සන්න වන ජනයාගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනයන් පිළිබඳව වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව දැඩි අවධානයෙන් පසුවන අතර වර්ධනය වන තත්ත්වයන් පෙන්වා දෙන්නේ වධහිංසාවෙන් තොර ශිෂ්ට සමාජයක් බිහිකිරීමේ ගමන අඩාලවීමේ තත්ත්වයක් උද්ගතවී ඇති බව මෙම නිවේදයෙන් වැඩිදුරටත් කියා ඇත.

“මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කරුණු තවමත් ඉටු වී නෑ!” - SLCAT

“මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කරුණු තවමත් ඉටු වී නෑ!” - SLCAT

Social Sharing
නවතම විශේෂාංග