20 සම්මතවීම සහ පාස්කු පරීක්ෂණ අතර ඩීල් එකක් තියෙනවද?

පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා

පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරයෙක් විදිහට ඔබ මුල සිටමේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වපු පුද්ගලයෙක්. වර්තමාන ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණ ගැන කතෝලික ජනතාව අතර තිබෙන මතය මොකද්ද?

කතෝලික ජනතාව විදිහට වගේම කතෝලික සභාවත් හැමදාම කීවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ස්වාධීන සම්පූර්ණ පරීක්ෂණයක් කළ යුතුයි කියන කාරණය. කතෝලික ජනතාව තවමත් ඒ මතයේ ඉන්නවා. ඇත්තටම කතෝලික ජනතාවට දැන් මේක ලොකු ප්‍රශ්නයක්. දැනට පරීක්ෂණ කෙරෙන විදිහ වගේම ඒ ගැන ආණ්ඩුවේ උනන්දුව ගැන අපිට විශාල ප්‍රශ්න තිබෙනවා. අපි කියන්නේ කවුද මේක පිටිපස්සේ හිටපු ප්‍රධානියා, මහ මොළය කවුද? මේකට අරමුදල් ආවේ කොහොමද? මේකට තාක්ෂණික උපදෙස් ආවේ කොහොමද? මේක රට අස්සේ සංවිධානය උනේ කොහොමද? ඒකට උදව් කළේ කවුද? මේ සියල්ල සොයන්න ඕනෑ. සියල්ල සොයලා වැරදිකරුවන් හෙළි කළ යුතුයි. ඒ වගේම ඔවුන්ට දඬුවම් කළ යුතුයි. එහෙම කළොත් පමණයි කතෝලිකයන්ට සතුටු වෙන්න පුලුවන්. එහෙම කළොත් විතරයි මැරුණු මිනිස්සුන්ට සාධාරණය හිමිවෙන්නේ. මම හිතන්නේ කාදිනල් උන්නාන්සේ ඇතුලු කතෝලික සභාවත් ස්ථිරසාර අදහසක ඉන්නවා මේගැන. කතෝලික සභාව කියන්නේ මේක ජාතිකව බේරගන්න බැරිවුණොත් ජාත්‍යාන්තරයට යනවා කියන කතාව. කතෝලික ප්‍රජාව කියන්නෙත් ඒකම තමයි.

ශානි අබේසේකර ඇතුලු පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ කරපු නිළධාරීන් සියල්ලම වගේ එම ස්ථානවලින් මාරු කරලා කියන කතාව පසුගිය දවස්වල හෙළිවුණා. මේ ගැන ඔබගේ අදහස.

අපි දන්නවා මේ නිළධාරියා ඇතුලු අනෙකුත් නිළධාරීන් මේ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ මෙහෙයවූවා, ඔහු දැන් ඉන්නේ රක්ෂිත බන්ධනාගාරයේ, ඒ වෙනත් චෝදනාකට. ආණ්ඩුව මේවා ගැන කෙළින් කතාකරන්නේ නැති නිසා සහ නිවැරදි තොරතුරු නොදෙන නිසා අපිට ඉතිං මේවා ගැන සැකයි. දැන් පාස්කු කොමිසන් වාර්තාව ගන්න, සියලු කරුණු හෙළිකරලා තිබෙනවාද? ජාතික ආරක්ෂාවට කියලා කරුණු, නිවැරදි තොරතුරු ජනතාවගෙන් සඟවනවා. එතකොට ඉතිං සැකයක් ඇතිවෙනවා, මේ මොකද්ද වෙන්නේ කියලා. විශේෂයෙන් කතෝලික ප්‍රජාවට සහ කතෝලික සභාවට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා, ඒ තමයි 20 වැනි සංශෝධනය සම්මත වීම සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ අතර සම්බන්ධයක් තිබෙනවද, ඩීල් එකක් තිබෙනවද කියලා. මම හිතන්නේ ආණ්ඩුව මේවා ගැන තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අවශ්‍යයි. අපි හැවෝම දන්නවා නේ 20 වැනි සංශෝධනය සම්මත වුණ ආකාරය ගැන.

ඒ වගේම රජයට වඟකීමක් තිබෙනවා දැන් පරීක්ෂණ කෙරෙන ආකාරය ගැන වගේම එහි ප්‍රථිපල ගැන අපව දැනුවත් කරන්න. මේක ලේසියෙන් කරන්න පුලුවන් වැඩක් නෙවෙයි, මේක පිටිපස්සේ ලොකු පිරිසක් ඇති අනිවාර්‍යයෙන්. අපි ඒ ගැන දැනගන්න අවශ්‍ය නැද්ද? අද කියනවා මහා මොළය සහරාන් කියලා හෙට කියනවා නවුෆර් මවුලවි කියලා, මොන කතාද මේ. මේවායි ආණ්ඩුව සහ පරීක්ෂණ කරන අංශ ගැන ජනතා විශ්වාසය නැත්තටම නැතිවෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා ආණ්ඩුව කරුණු හංඟන්නේ නැතුව නිවැරදි තොරතුරු ජනතාවට කියන්න ඕනෑ.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගන්න යනවාය කියලා ලොකු කතාවක් යනවා. මේ ගැන ඔබේ අදහස..

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සඳහා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අවශ්‍ය නම් ඔහු අත් අඩංගුවට ගන්න තිබ්බේ මීට සෑහෙන්න කළින්. නමුත් ඒක එහෙම නොකර ඔහු අර හෙළිදරව්ව පාර්ලිමේන්තුවේ කළාට පස්සේ අත් අඩංගුවට ගන්නට ආණ්ඩුව උත්සාහ කරනවානම් අපිට කියන්න වෙන්නේ, ඔව් ආණ්ඩුව හදන්නේ විපක්ෂය මර්දනය කරන්න කියලා තමයි. හරීන් පාර්ලිමේන්තුව අස්සේ කරපු ප්‍රකාශය ගැන කතාකළොත් මම ඊට වඩා දෙයක් ඒ ගැන දන්නේ නැහැ, ඒනිසා රජයේ වඟකීම ඒ පිළිබඳව කරුණු සොයන එක, ඒ වගේම ඒ ගැන නිවැරදි තොරතුරු රටට හෙළිදරව් කරන එක. අනික අපි මුලින් කතාකළානේ ශානී අබේසේකර ගැන, එතකොට අපි ආණ්ඩුවෙන් අහන්න අවශ්‍යයි ඔහු කරපු පරීක්ෂණවලට මොකද වුණේ? ඔහු සොයා ගත්ත තොරතුරුවලට මොකද කළේ කියලා. මේවා ගැන කතෝලික ප්‍රජාව අතර විශාල සැකයන් අවිශ්වාසයන් ගොඩනැඟිලා තිබෙනවා. ඒ නිසා ඒවා දුරුකරන එක ආණ්ඩුවේ වඟකීම.

Social Sharing
නවතම සාකච්ඡා