සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනාරක්ෂිතයි, පහසුකම් සපයන්න – සමස්ත ලංකා හෙද සංගමය

තෙවෙනි කොවිඩ් රැල්ල සීඝ්‍රයෙන් මෙරට පැතිරෙමින් ඇත. ඊයේ (27) දිනයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව දහස ඉක්ම වූහ. රෝහල් ගතව සිටින පිරිස අටදහසකට ආසන්නය. මේ සියලු රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයය. ඔවුන් ආරක්ෂා වී සිටිනතාක් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකිය. ඔවුන්ටද මේ වෛරසය ආසාදනය වුවහොත් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට අවැසි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හිඟ වනු ඇත. ඒ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.

මේ නිසා සමස්ත ලංකා හෙද සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයට කියා සිටින්නේ හෙද හෙදියන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට අවශ්‍ය පහසුකම් සපයන ලෙසටය.

මේ වන විට තෙවැනි කොවිඩ් රැල්ලක්ද රටපුරා පැතිර යමින් තිබෙන අතර විශාල පිරිසක් රෝහල් පද්ධතිය ආශ්‍රයෙන් හඳුනා ගනිමින් තිබෙන බවත් එම සංගමය පෙන්වා දෙයි.

පළමු හා දෙවන කොවිඩ් රැලිවල දී මෙන්ම මේ මොහොතේ දී ද කොවිඩ් රෝගීන් හා සෘජුව ගැටෙමින් කටයුතු කරනුයේ හෙද හෙදියන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බවත්   තෙවන කොවිඩ් රැල්ල ඇතිවීමට ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති හා තීරණ හේතු වූ බව සත්‍ය වුවද තවමත් එම අඩුපාඩු නිවැරදි කිරීමට ඔවුන් කටයුතු කරන බවක් පෙනෙන්නට නැතැයිද එම නිවේදයෙන් කියා සිටියි.

ආණ්ඩුවත් සෞඛ්‍ය බලධාරීණුත් පසුගිය මාස කිහිපයතුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ලබාදෙමින් තිබූ PPE ඇතුලූ අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ මෙන්ම කාර්ය මණ්ඩල ලබා ගනිමින් සිටි  විශේෂ නිවාඩුද කප්පාදු කර දමන අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබා දුන් සේවා මුරක්‍රමය මෙන්ම විශේෂ නිවාඩු ද අප්‍රේල් මස 30 වන දිනෙන් අවසන් කරණ බව දැණුම් දී ඇතැයිද අවධාරණය කරන සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙන්නේ  අද වන විට මෙරට රෝහල් පද්ධතිය තුළ හෙද හෙදියන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල විශාල පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බවය.

2021.04.25 වන විට ත්‍රිකුණාමලය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ හෙද නිළධාරීන් 07 දෙනෙකු ඇතුලූ තවත් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයිද  ශ්‍රී ලංකා ජාතික රෝහලේ ද හෙද සොහොයුරියක් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසකට කොවිඩ් වැල දී තිබෙන බවත් අවධාරණය කරන සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙන්නේ සෞඛ්‍ය බලධාරීන් කොරෝනා බවට හදුනාගන්නා රෝගීන් පිළිබඳව ගනු ලබන ආරක්ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද රෝහල් වලින් පැමිණිලි ලැබෙමින් තිබෙන බවය.

පසුගිය 23වන දින කළුබොවිල ශීක්ෂණ රෝහලට කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලෙන් කොරෝනා බවට හදුනාගත් රෝගියකු කිසිදු වගකීමකින් තොරව යොමු කිරීම නිසා කළුබෝවිල රෝහලේ දැඩි ගැටලූ ගණනාවක් ඇති කිරීමට හේතු වු බවත්  එසේම පෞද්ගලික රෝහල් වලින් PCR පරීක්ෂණ කර කොවිඩ් බවට හදුනාගන්නා රෝගීන් නිසි ක්‍රම වේදයකට ප්‍රතිකාර සඳහා යොමු නොකිරීම නිසා කොරෝනා අසාදිතයින්  දෙදෙනකු අප්‍රේල් 25 දින කළුබෝවිල රෝහලට සාමාන්‍ය රෝගීන් ලෙසින් ඇතුලත්වී ඇතැයිද එම සංගමය කියා සිටියි.

පසුගිය මාස කිහිපය තුළ නිහඩව සිටි සෞඛ්‍ය බළධාරීන් මෙන්ම කොරෝනා පාලන මධ්‍යස්ථානයද කොරෝනාව අද ඊයේ රටට ඇතුලූ වූ වෛරසයක් සේ සිතා මහත් කළබලයෙන් කටයුතු කරන බවත් මේ වන විට පැතිරෙමින් ඇත්තේ ඉතා බරපතල කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් බව ඉතා පැහැදිලි බවත් පවසන එම සංගමය අවධාරණය කරන්නේ  එබැවින් මතුවෙමින් ඇති අනතුරට මුහුණ දීමේ දී ඊට සෘජුවම සම්බන්ධව කටයුතු කරන හෙද හෙදියන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ආරක්ෂිතව රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතුවල නියැලීමට අවශ්‍ය සියලූ උපකරණ හිගයකින් තොරව රෝහල් පද්ධතියට ලබා දීමට කටයුතු කිරීම ආණ්ඩුවේත් සෞඛ්‍ය බළධාරීන්ගේත් වගකීමක් බවය.

තවද සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයේ යෙදවීමේ දී මීට පෙර අවස්ථාවල අනුගමන කළ අයුරින් ක්‍රමවත් රාජකාරී සැලැස්මක් හා සේවකයන්ට ප්‍රවාහන පහසුකම්ද සහිතව ඔවුන්ව සේවයේ යෙදවීමට ආණ්ඩුව කටයුතු කළහොත් පැතිරෙමින් පවතින කොරෝනා වසංගතය පාලනයේ දී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වඩා පහසුවක් සහිතව කටයුතු කිරීමට හැකිවනු ඇති බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

-ශානි-

Social Sharing
නවතම