ක්ෂුද්‍ර මුල්‍ය සත්‍යග්‍රහයට දින 50 යි

මෙරට ක්ෂුද්‍ර මූල්‍ය  ණය උගුලෙන් කාන්තාවන් ඇතුළු සමස්ත ජනතාව මුදා ගන්නා ලෙස ඉල්ලීම් 05ක් මුල් කර ගනිමින් හිඟුරක්ගොඩ දී ආරම්භ කළ සත්‍යග්‍රහය දින 50 ද ඉක්මවා ඇතත් මේ වන තෙක් රජයේ වගකිව යුත්තෙක් ඒ කෙරෙහි අවධානය යොමු කර නැතැයි ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවූ කාන්තාවන් ඉන් මුදා ගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම් කරු ගොවි නායක කවුඩුල්ලේ එම්.කේ.ජයතිස්ස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ  (27) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙමිණි. එහි දී ඒ මහතා මෙසේ ද කීය.

“අද වෙනකොට මේ හිඟුරක්ගොඩ රාජ්‍ය ස්මාරක ඉදිරියේ පවත්වන වනු ලබන සත්‍යග්‍රහයට දින 52ක් වෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන පීඩාවට පත් වූ කාන්තාවන්ගේ එකමුතුවේ කැඳවුම්කරු හැටියට දැන්වත් හැකි ඉක්මනින් මේ ඉල්ලා සිටින ඉල්ලීම් 05 ගැන අවධානය යොමු කරන්න කියලා.

අඩුම තරමේ සාකච්ඡාවක් වත් ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. මේ වින්දිතයන් වෙනුවෙන් ආණ්ඩුව සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඒ කියන්නේ මෙතන සත්‍යග්‍රහයේ යෙදිලා ඉන්න කාන්තාවන් ගැන ආණ්ඩුව තුට්‍ටුවකට මායිම් කරන්නේ නෑ. ආණ්ඩුව නිහඩ පිළිවෙතක් මේ ප්‍රශ්නය අරඹයා අනුගමනය කරන්නේ. එදා මැතිවරණයේ දී දුන් පොරොන්දු අනුව මේ කාන්තාවන් කෙරෙහි ඉතාමත්ම සංවේදීව ඇහැ ඇරලා බලන්න කියලා ඉල්ලා හිටිනවා. මොකද මොවුන් කාන්තාවන්. පිරිමි කට්ටියක් යම් අරගලයකට අවතිර්ණ වෙලා හිටියානම් ඒ අයට යම් විදිහක ඒක දරා ගන්න පුළුවන්. හැබැයි කාන්තාවන් කියන්නේ හරිම සංවේදී පිරිසක්. ඔවුන් මේ ප්‍රශ්නයට විසඳුමක් ඉල්ලලා අවිහින්සාවාදී අරගලයක් කරන්නේ. ඒ නිසා ආණ්ඩුව සදාචාරාත්මක නැද්ද මේ සංවේදී කාරණාව සම්බන්ධයෙන්. ආණ්ඩුව ඔවුන්ගේ ඉල්ලීම් 05 ගැන සලකා බලා මේ ප්‍රශ්නය විසඳීමේ වගකීම ආණ්ඩුව අතේ තියෙන්නෙ.

එසේ නොවන තාක්කල් අවුරුදු 05ක් වුණත් මේ අරගලය මේ කාන්තාවන් නතර කරන්නේ නෑ. ඒ දක්වා ම මේ අරගලය මේ කාන්තාවෝ ගෙනියනු  ඇති. එතකොට ආණ්ඩුවට කර කියාගන්න දෙයක් නැතිවෙයි. ඒ නිසා අපි ඉතාම වුවමනාවෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ ක්ෂුද්‍රමූල්‍ය ණය උගුලේ හිරවුණ කාන්තාවන්ගේ සංවේදී ප්‍රශ්නයට ඇහුම්කන්දීලා කඩිනමින් විසඳුම් ලබා දෙන්න කියලා.” යැයි ද පැවසීය.

-ඊෂා  මුදියන්සේ පොලොන්නරුව-

Social Sharing
නවතම