ඔක්සිජන් නැතිව දිනෙන් දින මිය යන ඉන්දීය ජනතාව

මේ වන විට මුලු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඉන්දියාවටය. ඒ කොවිඩ් 19 වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතු කොටගෙනය.

ඊයේ (26) දිනයේදී ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවීම 350,000 සීමාව ඉක්මවා ගොස් තිබු අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අයුරින්  ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 354,531 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව එරට සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව එක්  කෝටි හැත්තෑ තුන්  ලක්ෂ හයදහස් තුන්සියයක්  වන අතර මරණ 195,116ක් සිදුව තිබේ.

නවතම වාර්තාවලට අනුව සෑම මිනිත්තු 4කට වරක්ම දිල්ලි අගනුවරින් එක් කොවිඩ් මරණයක් වාර්තාවෙමින් පවති. මෙය ඉතාම ඛේදජනක ත්ත්වයකි.

විශේෂයෙන්ම එරට කොවිඩ් මරණ ගණන  ඉහළ යමින් ඇත්‌තේ  ඔක්සිජන් හිඟකමිනි. ඉන්දියාව යනු වායු දුෂණය අතින් ඉහළම රටකි. මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිත වන රෝගීන්ට හුස්ම ගැනීමට ඔක්සිජන් නොමැති වීම බරපතල ලෙස බලපෑම් කර ඇත.

මේ අතර ඉන්දියාවේ දිල්ලියද සතියකට වසා දැමීමට ඉන්දීය රජය තීරණය කර ඇත. මේ වන විට ඉන්දියාවේ කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරි යාම නිසා ඇඳන් හිඟයක්ද මතුව ඇත. එක ඇඳේ රෝගීන් කිහිප දෙනෙකු සිටින අතර තවත් රෝගීන් රෝහල දැක දැක ඇද වැටී මිය යන්නේ ඔක්සිජන් නොමැතිකම නිසාය.

ඉන්දීය ජනතාව මේ වන විට නගර පුරා සැරිසරන්නේ ඔක්සිජන් සිලින්ඩර් හොයමිනි. වෙනදාට ඔක්සිජන් සිලින්ඩර් විකුණු වෙළඳුන් මේ අවස්ථාවේ ඒ්වා ඉතා ඉහළ මිලකට අලෙවි කිරීමට පෙළඹි ඇතැයිද වාර්තා වේ. විශේෂයෙන්ම කලු කඩ ආශ්‍රිතව ද මේ වන විට ඔක්සිජන් හිඟයක් මතුව ඇත. ඔවුන් සතුව ඔක්සිජන් සිලින්ඩර් තිබුණද ඒවා ඔවුන් අලෙවි කරන්නේ සාමාන්‍ය මිලට වඩා දහ ගුණයක් වැඩි කරමිනි.

මේ අතර දිල්ලි අගනුවර සහ ජනාකීර්ණ මහාරාශ්ට්‍රයේ රෝහල් ඔක්සිජන් නොමැතිව රෝගීන් ඇතුලු කරගැනීම පවා ප්‍රතික්ෂේප කරමින් සිටියි. එසේම රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී යාම නිසා ධනවත් පවුල් වල පුද්ගලයින් ගෘහස්ථ හෙද සහායිකාවන් ලබා ගෙන නිවසේ සිට ප්‍රතිකාර ලබා ගැනීමට පෙළඹි ඇති අයුරුද දැකිය හැකිය.  මේ අතර බන්දීය රෝහල් වල පරික්ෂණාගාර වල පරික්ෂණ සිර වී දැඩි තදබදයක් මතුව ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ නිසා වෛද්‍යවරුන්ට රෝගීන්ට ප්‍රතිකාර කිරීම පවා දුෂ්කර වී ඇත. මේ නිසා තම දෑස් ඉදිරිපිටම තම හිතවතා, ඥාතියා මිය යන අයුරු බලා සිටීමට ඉන්දීය වැසියාට දැන් සිදුව ඇත.

මේ අතර ඇමරිකාව පවසා සිටින්නේ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ ඉන්දියාව මුහුණ පා ඇති අර්බුදයට එරෙහිව සටන් කිරීමට සහාය වන බවය.

පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් සැපයීමට කටයුතු කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. ඒ කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ සිය රට පීඩාවට පත්වු අවස්ථාවේ දී ඉන්දියාව දැක්වු සහායට ප්‍රතිඋපකාර වශයෙන් එරටට සහායවීමට කටයුතු කරන බවද ඔහු සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සටහන් කර තිබේ

මේ අතර සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ, ඉන්දියාවේ කොවිඩ් උපරිමය තවත් සති තුනක්  පමණ අපේක්ෂා කළ හැකි බවය. ඒ අනුව ඉදිරියේදී එරටින් මීටත් වඩා වැඩි මරණ ගණනක් වාර්තාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

-ශානි-

Social Sharing
නවතම විදෙස්