මේ මිනිස්සු ණය හඳුන්වන්නේ සතියෙ දවස්වල නමින්           

සමාජක්‍රියාකාරික දේවා ක්‍රිෂ්නන්

වව්නියාවෙ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙ අලුත්ම තත්වය මොකක් ද කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කළොත්..

යුද්ධෙ ඉවර වුණාට පස්සෙ වව්නියාවෙ ඉන්න අය දැන් ඒ අයගෙ ආර්ථිකය වැඩි දියුණු කරගන්න විවිධ සමාගම්වලින් ණය ගත්තා. ඊට පෙර අපි කියන්න ඕනේ මේ වගේ ණය දෙන ක්‍රමයක් තිබුණා ලංකාවේ. රජයේ ආයතන යටතේ පැවති එම ක්‍රමය කඩාකප්පල් කළ නිසා තමයි මේ මූල්‍ය ආයතන සමඟ මිනිස්සුන්ගෙ සම්බන්ධතාවයක් ඇති වුණේ. මේක ඉස්සර සෙලින්කෝ ග්‍රාමීන් හරහා තමයි පටන් ගත්තෙ. යුද්ධයෙන් පස්සෙ ගොඩක් සමාගම් මේ ණය ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ අයගේ ශාඛා ප්‍රමාණය වව්නියාවෙ ජනගහන‌ය තරමට ඉතා වැඩියි. මේ අය තරඟයට ණය ලබා දුන්නෙ. මිනිසුන්ගෙ ආර්ථික මට්ටම නොසලකා, ණය ගෙවීමේ හැකියාව ගැන නොසිතා අපරික්ෂාකාරීව ණය ලබා දීම නිසා මේ සමාගම් විශාල හානියක් සිදු කරලා තියෙනවා. දැනට වව්නියාවෙ පවුල්වලින් 75%ක් විතර ණය අරගෙන තියෙනවා.

අපි පොඩි සමීක්ෂණයක් කළා එක ගමක. 56 දෙනෙකුට අපි කතා කළා. 6 දෙනෙක් ඇරෙන්න ඉතුරු 50 දෙනා කෝටියකට වැඩි මුදලක් ණය අරගෙන තියෙනවා. ඒ අයට ස්ථිර ආදායමක් නැහැ. කුලී වැඩ කරන මිනිස්සු. ඒ අයගෙ ඉඩම් වගාවකට සුදුසු නැහැ. එක පුද්ගලයෙකුට සමාගම් පහක් විතර ණය දීලා තියෙනවා. ණය දීපු සමාගමේ නමවත් මේ අය දන්නෙ නැහැ. සඳුදා ණය, අඟහරුවාදා ණය, බදාදා ණය, විදිහට සතියෙ දවස්වල නමින් තමයි මේ ණය හඳුන්වන්නේ. එතරම් බරපතල විදිහට නිසි දැනුවත් කිරීමකින් තොරවයි මේ අයට ණය දීලා තියෙන්නෙ. මේක ග්‍රාමීය ආර්ථිකයටත් විශාල හානියක්. ඒ නිසා අපි රජ‌යෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මෙවැනි ණය දෙන සමාගම් වෙනුවට රාජ්‍ය යාන්ත්‍රණය තුළ තියෙන සමෘද්ධි, ගොවි සමිති, සමූපකාර සංගම්, වැනි ආයතන හරහා අඩු පොළියට ණය දෙන ක්‍රමය සංවර්ධනය කරන්න කියලා. ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන්නෙ දරිද්‍රතාවය අවම කරන්න. ඒ නිසා සමාගම්වලට මේක භාර දෙන්න බැහැ. සමාගම් බලන්නෙ ඒ අයගෙ සංවර්ධනය. ග්‍රාමීය සංවර්ධනයක් ඇති වෙන්නෙ නැහැ. කොවිඩ් තත්වයෙන් පස්සෙ ග්‍රාමීය ආර්ථික සංවර්ධනයක් ඇති කරනවා නම් ග්‍රාමීය පවුල්වල ආර්ථීක සුරක්ෂිතතාව ඇති කරන්න ඕනේ. දැන් තියෙන දත්ත අනුව රටේ ආර්ථිකය සංවර්ධනය ඇති කරන්න බැහැ. ග්‍රාමීය ආර්ථිකය, පවුල් ආර්ථීකය කඩාකප්පල් කරනකොට රටේ ආර්ථිකය සංවර්ධනය වෙන්නෙ නැහැ කියලා දැන් අපිට පේනවා.

මේ විදිහට ග්‍රාමීය ආර්ථිකය කඩා වැටෙන්න හේතුව මොකක්ද ඇත්තටම?

එක හේතුවක් තමයි යුද්ධය අවසන් වුණාට පස්සෙ මිනිස්සු නැවත ගම් බිම්වලට එද්දි ඒ අයට ගොඩක් ප්‍රශ්න තිබුණා. මේ අය නැවත පදිංචි කරවීම සඳහා රජයෙන් ඔවුන්ට නිවාස හදලා දුන්නා. එතනදි ගැටලුවක් වුණා. නිවාස ලබා දෙන විට සමහර ගෙවල්වලට ලක්ෂ 5යි. නමුත් ඒ ගෙවල් සාදා නිම කරද්දි ලක්ෂ 8 1/2ක් වත්  අනිවාර්යෙන් අවශ්‍යයි. ඊට අමතරව ඒ අය කුලී වැඩ කරනවා ජීවත්වීමට. නිවාස හදද්දි ඒ අයට කුලී වැඩට කිරීමේ හැකියාවක් නැහැ. එතකොට කෑම වියදමට අවශ්‍ය මුදල් ගෙවල් හදන මුදලින් ලබා ගන්නවා. අවසානයෙ ගෙවල් සෑදීමට මුදල් ප්‍රමාණවත් නැහැ. එතන තමයි ණය ගැනීමේ ආරම්භය. ඊට පස්සෙ ඒ ණය ගෙවන්න තව තව ණය මුදල් ලබා ගන්න වෙනවා. එහෙම තමයි ඒ අය ණය අර්බුදයක පැටලුණේ. ණය ගෙවා ගන්න බැරිව වස බොන තැනට පත් වුණේ.

වව්නියාවේ වැඩිපුරම ඉන්නේ වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණි අය. සිදම්බරපුරම්, චෙට්ටිකුලම් වගේ පැතිවලින් ඇවිත් මෙහෙ පදිංචි වෙලා ඉන්නවා.  මේ අයට ස්ථිර ඉඩම් නැහැ. ඉඩම් වැඩිපුර තියෙනවා නම් ඒ අයට ගොවිතැන් කරන්න පුළුවන්, ස්වයං රැකියා කරන්න පුළුවන්. ඒ වගේ  තත්වයක් නැහැ. ඔවුන් වැඩිපුර කුලී වැඩ තමයි කරන්නේ. නැත්නම් මිනිස් බල ශ්‍රමිකයන් විදිහට වැඩ කරන්නේ. එවැනි අයට මුදල් අවශ්‍යතා එද්දී ණය ගන්න ක්‍රමයක් නැහැ. රජයේ  බැංකු වලින් ණය ගන්නකොට ඇපයක්  ඉල්ලනවා. ඒ වගේ තත්වයක් තුළ මේ ක්ෂුද්‍ර ණය සමාගම් වලින් ණය ගන්න ඔවුන් පෙළබෙනවා. එයින් තමා මේ ගැටලු ඇති වෙන්නේ. සමහරවිට අසනීප වෙලා ඒ සතියේ ණය ගෙවන්න බැරි වෙනවා. ඊට පස්සේ ණය එකතු වෙලා ගෙවන්න නොහැකි වෙනවා. ඒ විදිහට ඔවුන් විශාල ප්‍රශ්නවලට මුහුණපානවා ඉන්පසු.

වව්නියාවේ කී දෙනෙක් විතර දැනට සිය දිවි නසාගෙන තියෙනවද?

දැන් තියෙන තත්වය අනුව දොළොස් දෙනෙක් විතර. සමහර මරණවල මරණ පරීක්ෂණ වාර්තාවල සදහන් වෙන්නේ ගෙවල්වල ප්‍රශ්න නිසා සියදිවි හානි කර ගත්තා කියලා. නමුත් මේ ණය ගෙවා ගන්න බැරි වීම නිසා තමයි ගෙදර රන්ඩු – සරුවල් ඇති වෙන්නෙ. පන්ඩිකේතකුලම් කියන එක ගමක අවුරුදු දෙකකට ඉස්සර කාන්තාවක් එයාගේ දරුවන් එක්ක ළිඳට පැනලා සිය දිවි හානි කර ගැනීම විශාල කතාබහක් ඇති කළ සිද්ධියක්.

ඔබ හිතන විදිහට මේ ගැටලුවලට විසඳුම කුමක් ද?

ඇතැම් පිරිස් මේ අපි කියන දෙයට වැරදි කියන්න පුළුවන්, ණය ගත්තා නම් ඒක ගෙවන්න ඕනේ කියලා කියන්න පුලුවන්, එය ඇත්තක්.  නමුත් මේ ණය ලබා දෙන ක්‍රමවේදයේ පවතින වරද, නැත්නම් නිසි සොයා බැලීමක් නොකර ණය  ලබා දීම නිසා මිනිසුන්ට පීඩනයක් ඇති වෙලා තියෙනවා. මෙහි ලොකු වංචාවක් තියෙනවා. සමහරු විශාල පොලියක් අය කරනවා. මිනිස්සුන්ව රවටලා වැඩි පොලියට ණය දෙන නිසා තමයි මේ ගැටලු. කාන්තාවන් පවා මේ ණය උගුලෙන් ගැලවෙන්න ක්‍රමයක් නැතිව ඉන්නවා.  ඒ නිසා රජය මැදිහත් වෙලා තීරණ අරගෙන මේ ණය දීම වහාම නතර කරන්න.

Social Sharing
නවතම සාකච්ඡා