“ජිහාද්” වචනය පාවිච්චි කරලා මාව හිරේ දැම්මා!      

මාධ්‍යවේදී රම්ෂි රාසික්.

ඇත්තම කියනවනම් මම සාමාන්‍යයෙන් අවුරුදු 10ක විතර ඉඳලා  මුහුණු පොතේ දේශපාලන ප්‍රශ්න ගැටළු ගැන ලියනවා. ඒක මම අවුරුදු 10ක් තිස්සෙම කරගෙන ආවා. මගේ ෆේස්බුක් පෝස්ට් තුළින් මම හුඟක්ම සමාජයට බලපෑම් කරන දේශපාලන සංස්ථාවන් සහ ආගමික සංස්ථාවන් යන දෙක තමයි විවේචනය කළේ. ඒ මොකද ඒ තීරු දෙක තමයි සමාජයට තීරණාත්මක සාධකයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ දේශපාලන සංස්ථාවට සහ පූජක සංස්ථාවට මම කෙලින්ම මගේ පෝස්ට් තුළින් අභියෝග කරලා තියෙනවා. මේ නිසාම මා ගැන කලින්ම සමාජය තුළ යම් මතයක් තිබුණා සම්මතයට මම පහර ගහන කෙනෙක් හැටියට. ඇත්ත වශයෙන්ම මාව අත්තඩංගුවට ගන්නේ අවසාන වශයෙන් මම ලියපු පෝස්ට් එකක් නිසා. මම ඒ පෝස්ට් එකෙන් කිව්වේ සහ ඒ පෝස්ට් එකට පසුබිම් වෙච්ච කාරණය මේකයි.

බෝම්බ පුපුරව ගැනීමට සහරාන්ට එහෙම අදහසක් ආපු හේතුව මොකක්ද කියලා ඔහු සඳහන් කරලා තිබ්බා කරුණු කීපයක්. එක කරුණක් තමයි ඔහු කියනවා බේරුවල, අලුත්ගම, දිගන කියන ප්‍රහාරවලට ප්‍රති උත්තරයක් දිය යුතුයි කියන මතයෙන් තමයි ඔහු මෙය කරේ කියලා. මම මගේ පෝස්ට් එක තුළින් කිව්වා ඇත්තටම සහරාන් කියන්නේ ජිහාද් වාදියෙක්. ඔහු කියන්නේ ජිහාද් කරන්න ඔනේ කියලා. ඔහුට ඒ සම්බන්ධයෙන් තියෙන්නේ වෙනම අර්ථකතනයක්, නියම අර්ථකතනය නෙවෙයි ඔහුට තියෙන්නේ. මගේ පෝස්ට් එකෙන් මම කියන්න ගත්තේ අපි ජිහාද් එක කරනවනම් ඒක කරන්න ඕනේ ආයුධ සන්නද්ධව නෙවෙයි පෑන සහ කීබෝර්ඩ් එක පාවිච්චි කරලා මතවාදී අරගලයක් විදිහට කියලා. ඒක තමයි මම කිව්වේ. මම එතනදි පාවිච්චි කරා චින්තන ජිහාදය කියන වචනය. මම ඒ පෝස්ට් එකේ පැහැදිලිවම සඳහන් කරා පෑන සහ කීබෝර්ඩය පාවිච්චි කර සිදු කරන ලද චින්තන ජිහාදයක් තමයි අපිට අවශ්‍යය කියලා.

නමුත් ඒ පෝස්ට් එක දැම්මට පස්සේ මට ගොඩාක් තර්ජන එන්න පටන් ගත්තා, මරණ තර්ජන පවා එන්න පටන් ගත්තා. මම ඒ පිළිබඳව පොලිස්පතිට ඊමේල් හරහා පැමිණිල්ලක් කරා. පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් මට තිබ්බෙත් නෑ. මම පැමිණිල්ල කරලා ඊලඟ දවසෙම සී.අයි.ඩී එකෙන් මාව අත්තඩංගුවට ගන්නවා. ඔවුන් කියන්නේ මේ ජිහාද් කියන වචනය මට යොදන්න බෑ එය සාහසික වචනයක් කියන එක. නමුත් ඉස්ලාමය ඉස්ලාම් ආගම ගැන සාමාන්‍යය දැනුමක් තියන කෙනෙක් වුනත් දන්නවා ජිහාද් කියන්නේ සාමන්‍යයෙන් යොදන වචනයක් කියලා. එතන කියන්නේ සාමන්‍යය අරගලයක් ගැන කතාවක් විතරයි.

ජිහාදය ගැන පොඩි විස්තරයක් කියනවානම් ජිහාදය කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි කොටස අපේ හිතේ ඇතිවෙන චිත්ත ආවේග/හිතේ ඇතිවෙන නපුරු හැඟීම් වලට විරුද්ධව කරන ජිහාදය. අපේ සිත තුලින් කරන ජිහාදය. මම ඉස්ලාම් ආගමිකයෙක් ව්දිහට ඉස්ලාමයේ වැඩිපුර කරන්නේ තමන්ගේ හිත තුළ ඇති වෙන නපුරු සිතුවිලිවලට විරුද්ධව තමන්ගේ සිත තුළ කරන ජිහාදය. ඒක තමයි ප්‍රධානම අරගලය ලෙසට ඉස්ලාමය පවසන්නේ. දෙවනුව සමාජය තුළ පවතින යම් යම් සමාජ අසාධාරණය, අයුක්තියන්ට එරෙහිව මතවාදී අරගලයක් ඒක දෙවෙනි අරගලය ලෙසට ඉස්ලාමය පවසනවා. ඒ කියන්නේ එතනදි භාශනයේ නිදහස, භාෂණය පාවිච්චි කරලා ලිවීම, කතා කිරීම හා ඒ තුළින් අයුක්තියට අසාධාරණයට විරුද්ධව අපි අරගල කල යුතුයි. ඒ කියන්නේ එයට විරුද්ධව අපි ජිහාදය කළ යුතුයි කියන එක දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය ඉස්ලාමයේ කියනවා යම් කිසි සමාජ අසාධාරණයක් සීමාව ඉක්මවා ගිය විට එතනදි ආයුධ සන්නද්ධ අරගලයක් උනත් කළ හැකියි කියලා. ඒකට පලස්තීන අරගලය, වියට්නාම අරගලය වගේ අරගල උදාහරණ විදිහට කියන්න පුලුවන්, නමුත් මේ අරගලය ගැන ඉස්ලාමය පවසන්නේ ඉතාමත් අඩුවෙන් සහ අවසාන විසඳුම ලෙස. බොහෝ ඉස්ලාමීය විද්වතුන් පවා කියන්නේ මේ තුන්වන ජිහාදය, ආයුධ සන්නද්ධව කරන ජිහාදය කළ හැක්කේ නීත්‍යානුකූල රජයකට හෝ නීත්‍යානුකූල හමුදාවකට පමණයි කියලා. සාමාන්‍යෙයෙන් පුද්ගලයෙකුට මේ ජිහාදය කරන්න ඉස්ලාමය තුළ ඉඩක් නෑ. මම ඒ කරුණය අල්ලලා තමයි ඒ පෝස්ට් එක නිර්මාණය කරේ.

නමුත් ඔවුන් ජිහාද් කියන වචනයක් විතරක් අල්ලගෙන මාව අත්තඩංගුවට ගත්තා. අරගෙන් ඊලඟ දවසෙම මාව මහේස්ත්‍රාත්වරිය ළඟට මාව ඉදිරිපත් කරහම ඇයත් මගේ පෝස්ට් එක බලලා තෙරුම් ගත්තා මගේ පෝස්ට් එකේ කිසිම ගැටලුකාරී තත්වයක් නෑ මාව අත්තඩංගුවට ගන්න තරම් හේතුවක් නෑ කියලා. නමුත් ඇයට කිසිම දෙයක් කරගන්න බෑ, මොකද සී.අයි.ඩී එකෙන් මට විරුද්ධව පැමිණිල්ල දාල තිබ්බේ අයි.සී.සී.පී.ආර් කියන ජාත්‍යන්තර සමාජ සහ දේශපාලන අයිතීන් පිළිබඳ ප්‍රඥ්ඥප්තිය යටතේ. ඒ යටතේ නඩු පැවරුවම මහේස්ත්‍රාත්වරයෙකුට බැහැ ඇප දෙන්න. අනිවාර්යයෙන්ම හයිකෝර්ට් එකට යන්න වෙනවා. ඒ අනුව මාව බන්ධනාගාර ගත කරා. පස්සේ මස පහකට වැඩිය බන්ධනගාරේ ඉන්න වුණා. පස්සේ මට ඇප ලබාදීම සඳහා කටයුතු කරා හයිකෝර්ට් එකෙන්. හයිකොර්ට් එකෙදී ඇප දීමේදී විනිසුරුවරයා පැවසූ විශේෂම දෙයක් තමයි භාෂණයේ අයිතිය සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කිරීමම නෙවේ භාෂණය කියන්නේ, මතයකට විරුද්ධ වීම හා මතයකට විරුද්ධව අදසක් දැක්වීමත් එයට ඇතුළත් කියලා. ඒනිසා මොහු කරලා තියෙන්නේ යම් කිසි මතයකට විරුද්ධව මතයක් ඉදිරිපත් කරලා තිබෙන එක, ඒ නිසා ඒ මතයේ ඉදන් මට ඇප ලබා දුන්නා මහෙස්ත්‍රාත්වරයා.

මම අත්තඩංගුවට පත් වුණාට පස්සේ මුලින්ම මාව පල්ලන්සේන සිර කඳවුරුවල සති 3ක් පමණ රඳවා තබා තිබුණා. ඊට පස්සේ මාව වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගරයට දැම්මා. මම කාලයක් තිස්සේ රුමටොයිට් ආතරයිටිස් රෝගයෙන් පෙළෙනවා. ඒ හේතුව නිසා මට හිරගෙදර අපහසුතා විඳ දරාගැනිමට ලොකු අපහසුතාවයක් තිබුණේ. මගේ හන්දි කැක්කුම් නිසා වැසිකිළි අවශ්‍යතාවලදී කොමඩ් පහසුකම් නැතුව කොහොමටවත් කරගන්න බැරි තත්ත්වයක් තිබ්බේ. බන්ධනාගාර වැසිකිළිවල කොමඩ් පහසුකම් නෑ. ඒත් එක්කම සිමෙන්තියේ නිදාගන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. මගේ රෝගී තත්ත්වය අනුව ඒ වගේ තත්වයක් මට විඳ දරා ගැනීමේ ලොකු අපහසුවක් තිබුණා. මම

ඉල්ලීම් කිහිපයක් කිරීමෙන් පසු මාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරා. එහි මට යම්තාක් දුරට ප්‍රතිකාරයක් ලැබුණා. නමුත් බන්ධනාගාරය තුළ ඇද වැටීම්ක් නිසා මගේ අත කැඩුණා. අත කැඩුණායින් පස්සේ ඔවුන් ප්‍රතිකාර කළා නමුත් ඒ ප්‍රතිකාර නියමාකාරයෙන් සිදු වුණේ නෑ. ඒ නිසා මගෙ අත දැන් සාමන්‍ය තත්වයෙන් නෙවෙයි තිබෙන්නේ. ඒක වෙනත් ශල්‍ය කර්මයක් කරලා හරිගස්සන්න ඕනේ කියලා වෛද්‍යවරු පැවසුවා.

Social Sharing
නවතම විශේෂාංග