බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවසානයේ ඇවන්ගාඩ් යටතටද?

අද (25) සෑම පුවත්පතකම පාහේ ප්‍රධාන සිරස්තලය බවට පත්ව තිබුණේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැසක් මාරු කීරිමේ පුවතය. දැන් මාසයකට ආසන්න කාලයක සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැන මුලු රටම කථා කරන්නට පටන් ගෙන ඇත. මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව හංවඩු ගැසී ඇත්තේ අපරාධ සියල්ලකගේම කේන්ද්‍රස්ථානය ලෙසිනි. මෙහි සිටින්නේ බන්ධනාගාර නිලධාරීන් නොව වැරදි කරන නිලධාරීන් බව දැන් දැන් මතයක් ගොඩ නැඟෙමින් ඇත. මොවුන්ගේ පිහිටෙන් සියලු අපරාධ සිදුවන බවට වක්‍රව චෝදනා ලබති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බනධනාගාර දෙපාර්තමේන්තු නිලධාරින් කැඳවා තදින් කථා කළ දා සිටම බන්ධනාගාර දෙපාර්තමේන්තුව තවත් අය ප්‍රසිද්ධියේ  විවේචනයට ලක් කළහ.

ජනාධිපතිවරයාගේ බැනුම් ඇසීමෙන් පසු බන්ධනාගාර ලොක්කා මාරු විය. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස පත් වුයේ තුෂාර උපුල්දෙණියය. ඔහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වු අතර පසුව බුද්ධි අංශයේ ලොක්කා විය. ඔහුගේ නව පත් වීමත් සමඟම බන්ධනාගාර නිලධාරීන් තවත් පීඩාවට පත්ව ඇත. ඒ ඔහු ලොක්කාගෙන් ලකුණු දා ගැනීමට දිගින් දිගටම නිලධාරීන්ගේ වැරදි සොයන්නට වීමය. බුද්ධි අංශයේ ලොක්කාව සිටියදීවත් ඔහු සිදු නොකළ සොයා ගැනීම් රැසක් නව තනතුරේ වැඩ බාර ගැනීමත් සමඟ සිදු කළේය. දිනපතාම පාහේ සිරකුටි වලින් ජංගම දුරකථන හමුවන්නට විය. රැඳවියන්ට උදව් කළ බවට චෝදනා ලබමින් දිනපතාම කවුරු හෝ බන්ධනාගාර නිලධාරියෙකු අසු කර ගත්තේය. මේ අල්ලා ගනු ලබන සියල්ලටම ලබා දුන්නේද අති දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයකි. ඇතැම් පුවත්පත් සඳහන් කර සිටියේ තුෂාර උපුල්දෙණිය වැඩ අල්ලයි යනුවෙනි.

මේ අතර ආරක්ෂක ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාද බන්ධාගාර නිලධාරීන්ට ප්‍රසිද්ධියේම දෙහි කැපුවේය. ඔහු කියා සිටියේ සති අග අරුණ පුවත්පත බැලුවේ නම් නිලධාරීන් නිල ඇඳුම අඳින්නේ නැති බවය. ඔහුත් ප්‍රසිද්ධියේම කථා  කළේ බන්ධනාගාර නිලධාරීන් තුට්ටු දෙකට දමාය.

මේ සියලු දෙනාගේ විවේචන, ප්‍රසිද්ධිය නිසා අවසානයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැන ජනාධිපතිවරයාට තීරණයක් ගැනීමට පසුබිමක් සැකසී ඒ අනුව මෙම දෙපාර්තමේන්තුව ඇවන්ගාඩ් සමාගමට හෝ වෙනත් පෞද්ගලික සමාගමකට ලබා දෙන්නට සුදානම් වන්නේද යන්න මේ වන විට සැක මතු වෙමින් ඇත.

බූස්ස බන්ධනාගාරයට දරුණු ගණයේ අපරාධකරුවන් ගෙන යන බවත් එහි දුරකථන ඇමතුම් ලබා ගැනීමට නොහැකි ලෙස සකසා ඇති බවත් පහුගියදා අනාවරණය කර තිබුණි. එමෙන්ම මේ බන්ධනාගාරයේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය යෙදවීමට අවධානය යොමු කර ඇතැයි එහිදී සඳහන් විය. වැලිකඩ බන්ධනාගාර සෝදිසියට පොලිස් විශේෂ කාර්ය බලකාය ගොස් සිදු වු ගැටුම තවමත් අපට අමතක නැත.

එවන් සිද්ධියකට යළි අප ඉඩ දිය යුතුද? යන්න සම්බන්ධයෙන් සිවිල් සමාජයේ මහජන කථිකාවතක් ඇති විය යුතුව ඇත. එමෙන්ම දැනටමත් සිරකරුවන් පුනරුත්ථාපනය වෙනුවෙන් බන්ධනාගාර තුලට පිවිස ඇති ඇවන්ගාඩ් සමාගම පිලිබඳවද දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව පෙනෙන්නට ඇත.

Social Sharing
නවතම