අපේ වතු කම්කරුවා අයිතීන් ඉල්ලා ආයුධ අතට ගත්තේ නෑ!

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්

මුලින් අයවැයෙන් කිව්වා කම්කරුවන්ට වැටුප රුපියල් දාහක් දෙනවා කියලා. හැබැයි ඊට පස්සේ කියන්නෙ වෙන කතාවක්, දාහක් දෙන්න විදිහක් නැහැ කියලා. දැන් මේ දාහෙ යෝජනාව සෑහෙන කාලෙක ඉදන් තියෙනවා. ඇත්තටම මේක දෙන්න බැරිද? මොකක්ද එහි තත්ත්වය..

ඇත්තටම ලංකාවෙ ජීවන වියදම අනුව බලනකොට රුපියල් දාහක් කියන්නේ සාධාරණ මුදලක්. දැන් තියන බඩු මිල අනුව බැලුවම. රජයේ අයවැයක් ඉදිරිපත් කරන කොට, යෝජනාවක් ඉදිරිපත් කරනකොට, ඒ අවශ්‍ය සැලසුම් ඔක්කොම කරලා මුදල් වෙන් කරලා තමයි කියවන්නෙ. එතකොට ඇත්තටම දේශපාලන පොරොන්දුවක් හැටියට ජනාධිපති මැතිවරණයේදී 2019 නොවැම්බර් මාසය වෙනකොට අතිගරු ජනාධිපතිතුමා වතුකරයේ ජනතාව ඉදිරියට ගිහින් කිව්වා රුපියල් දාහක් දෙනවා කියලා එතුමා ජනාධිපති වුණාට පස්සේ. 2020 ජනවාරි කිව්වා අලුත් අවුරුද්දට දෙනවා කියලා. හැබැයි එහෙම දුන්නෙත් නැහැ. කෙසේ නමුත් ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් ඇමති හැටියට නොවැම්බර් මාසයේ 2021 අයවැය ඉදිරිපත් කරද්දී එතුමගේ කතාවෙදි කිව්වා 2021 ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා වතුකර ජනතාවට රුපියල් දාහක් පොරොන්දු වූ පරිදි ලබා දෙනවා කියලා. පාර්ලිමේන්තුවේදී අත්පුඩි ගහල ලොකු පිළිගැනීමක් ඒකට ලැබුණා. දැන් එහෙම කිව්වට පස්සෙ මේ පිළිබඳව කම්කරු ඇමතිතුමා වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කළා. මමත් ඒකට කිහිප සැරයක් ගියා. අපි ඒ පිළිබඳව සාකච්ඡා කළා. දැන් වතු හාම්පුතුන් කියනවා අපි දාහක් දෙන්නම් කියලා පොරොන්දු වුණේ නැහැ.

දැනට ලැබෙන පඩිය රුපියල් 700. රු.50ක් තේ මිල. එතකොට 105ක් EPF/ETF ලැබෙනවා. මුළු වැටුප රුපියල් 855 ක් දෙනවා. ඒ තමයි කතාව. 855 ගෙව්වට පස්සේ රුපියල් දාහක් වෙන්න තියෙන්නෙ තව රු. 145යි. මේක දීම ලොකු ගැටළුවක් නෙවෙයි. දෙලක්ෂ ගණනයි කම්කරුවෝ ඉන්නේ. එතකොට මේකට සල්ලි වෙන් කරන්න බැරි කමක් නැහැ. පුළුවන්.  සමාගම් සමග සාකච්ඡා කරලානෙ මේ තීරණ ගන්නෙ. මිනිස්සු ඉල්ලුවෙ නැහැ, වෘත්තීය සමිති ඉල්ලුවේ නැහැ,  රජය තමයි කිව්වේ රුපියල් දාහක් දෙනවා කියලා. මේ ගැන අපි සාකච්ඡා කළා. වතු හාම්පුතුන්ගේ සංගමය බැහැ කියනවා. අපි කිව්ව රුපියල් දාහක් රජය දෙනවා කිව්වා, දෙන්න කියලා පළවෙනිදා ඉඳලා. මේ සාකච්ඡාව වට, දෙකක් තුනක් විතර තිබුණා. ඒක සාර්ථක වුණේ නැහැ. ඊට පස්සේ ගරු කම්කරු ඇමැතිතුමා කිව්වා අපි මේක සාකච්ඡා කරලා බැලුවා. මේක සාර්ථක වුණේ නැහැ. වෘත්තිය සමිති 1000 ඉල්ලනවා. ඊට පස්සේ කිව්වා මේක පඩි පාලක සභාවට දාලා රුපියල් දාහක් දෙන්න සැලසුම් කරනවා කියලා. රු. 900ක් මූලික ගෙවීම ලෙසත් ජීවන වියදම ලෙස රුපියල් 100කුත් දෙන්න අවශ්‍ය කටයුතු කරනවා කියලා අන්තිම සාකච්ඡාවේදී ඇමතිතුමා කිව්වා. මම එතන දි ඇහුවා කම්කරු අයිතිය කොහෙද එතකොට කියලා.

දැනට බුක්තිවිඳින කම්කරුවන්ගේ අයිතිය කප්පාදු කරන්නේ නැතුව දෙන්න ඕනේ. ඒක කප්පාදු කරලා දීලා වැඩක් නැහැ. 100% නැති වුණත් ඔවුන්ට යම්කිසි අයිතියක් තියෙනවා. සාමාන්‍ය මිනිසුන් හැටියට ජීවත් වෙන්න, තේ දලු කඩන ප්‍රමාණය, රබර් කිරි ගන්න ප්‍රමාණය, කටු පොල් ගන්න ප්‍රමාණය අවුරුද්දකට දවස් තුන්සියයක් වැඩ දෙන්න ඕනේ. මේ ඔක්කොම තියෙනවා. වතු හාම්පුතුන්ගේ සංගමයත් කිව්ව ඒවා අපි පිළිගන්නෙ නැහැ කියලා.

සාමාන්‍යයෙන් අපි දන්නවා ලංකාවෙ කාලගුණය, මාස හයකට වැස්ස. මාස හයකට අව්ව. වැස්ස කාලෙදි රබර් ප්‍රශ්න තියෙනවා. රබර් වැඩිපුර ගන්න බැහැ. නමුත් දළු එනවා. අව්ව කාලයේදී දළු අඩු වෙනවා. රබර් ගන්න පුළුවන්. මේක සාමාන්‍යයි. එතකොට ඒ ඔක්කොම අරගෙන අපි ගානක් හදනවා අවුරුද්දකට දවස් තුන්සියයක් වැඩ දෙන්න ඕනේ. ඊ.ටී.එෆ් ඔක්කොම ගෙවන්න ඕනේ. රිටයර් වෙන වයස කොහොමද? ඒ ඔක්කොම තියෙනවා. එහෙම නැතුව එයාලට ඕන විදිහට කරගෙන යන්න ගියොත් එහෙම පස්සේ ඒ අහිංසක කම්කරුවන්ගේ බෙල්ල මිරිකයි. දවසට කිලෝ 50ක් අරගෙන එන්න කියයි. කොහෙන් හරි ගිහිල්ලා දළු කඩාගෙන එන්න කියයි. දවස් දහයක් තමයි මාසෙකට වැඩ දෙන්න පුළුවන් කියලා කියයි. නොයෙක් විදියේ ප්‍රශ්න ඇති වෙයි. එතකොට අපිට උදේ පාන්දර යන්න වෙන්නෙ පොලීසියට. ඒ වගේ දෙයක් කරන්න බැහැ. අපි මේ රටට ආදරෙයි. අපි මේ ක්ෂේත්‍රයට ආදරෙයි. මේ ක්ෂේත්‍රය රැකගන්න ඕනේ. සිලෝන් ටී එක රැකගන්න ඕනේ. ශල්‍යකර්මය සාර්ථක වෙලා ලෙඩා මැරිලා වැඩක් නැහැනෙ. ශල්‍යකර්මයත් සාර්ථක වෙන්න ඕන, ලෙඩත් ජීවත් වෙන්න ඕනේ. එතකොට මේ රට සහ සිලෝන් ටී දෙකම රැකෙන්න ඕනේ.  ඒ වැඩපිළිවෙළට අපි නිකම් බොරුවට තල්ලූවක් දාල සමාගම්වලට දාහක් දෙන්න කියලා ඒ මිනිස්සු ගිහිල්ලා වතුකරයේ ජනතාවට තර්ජනය කළාට පස්සෙ ඔක්කොම අවුල් වෙනවා.

සමහර විට දවස් තිහක් වැඩකරන්න කියයි. දවස් තිහක් වැඩ කරොත් තමයි රුපියල් දාහක් දෙන්නෙ කියයි. අම්මා, නෝනා, දුව ඔක්කොම කාන්තාවන් ඉන්නේ. දවස් තිහක් කාන්තාවකට වැඩ කරන්න පුලුවන්ද? සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා නේ. ගෙවල් තියෙන්නේ දුරින්. හැතැප්ම 5-6ක් ගියාට පස්සේ තමයි දළු කඩන තැන තියෙන්නෙ. එතන බාත්රුම් එකක් තියෙනවද? එතන වැසිකිළි-කැසිකිළි පහසුකම් තියෙනවද?  නැහැ.  එතකොට හැමදාම වැඩට යන්න බැරි වෙයි. බබා හම්බෙන්න දවස් ගානක් තියෙන වැඩ කරන්න ඉන්න අම්මලා, බබාලාට කිරි දෙන්න ඉන්න අම්මලා. ලයිමෙ ගෙවල් තියෙන්නෙ හැතැප්ම ගණන් වලට එහා. මේ ඔක්කොම මනුස්සකමින් කල්පනා කරන්න ඕනේ නේද?.  ලෝක කම්කරු සංවිධානයෙ මේ ඔක්කොම නීති රීති තියනවනෙ. කම්කරු අයිතිවාසිකම් තියෙනවා. ඒ කම්කරු අයිතිවාසිකම් ටික ඔක්කොම රැකගෙන, මිනිස්සු හැටියට අපි කල්පනා කරලා එයාලගේ සුභසාධනය ගැන කල්පනා කරලා ඉවරවෙලා මේ රුපියල් දාහක් දෙන ක්‍රමය හදන්න ඕනේ.

රටක් හැටියට මේ රටට අපි ආදරෙයි. වතුකරයේ ජනතාව ත්‍රස්තවාදීන්ට සහයෝගය දීලා නැහැ. කවදාවත් වතුකරයේ ජනතාව ආයුධ අතට අරන් ජාතිවාදය ඇති කරලා නැහැ. රටේ ජනතාවත් එක්ක අත්වැල් බැඳගෙන හැමදාම වැඩ කරේ. ඒක ඕනම තැනක ඕනෑම වෙලාවක සහතික කරල අපි හරි ආඩම්බරයෙන් කියනවා. අපි මේ රටට ආදරේ කරලා වැඩ කරන්නේ. මේ සිලෝන් ටී රැකගන්න. එතකොට රජයක් හැටියට ලොකු වගකීමක් සහ යුතුකමක් තියෙනවා මේ ජනතාව ගැන බලන්න.

අපි දකිනවා තොන්ඩමන් පවුල ප්‍රමුඛ විශාල දේශපාලකයො ප්‍රමාණයක්  වතුකරයෙ ජනතාව වෙනුවෙන් වැඩ කරනවා. නමුත් කාලයක් තිස්සෙ ඒ මිනිස්සු ජීවත් වෙන විදිහ බැලුවොත්, හරියට නිදියන්න තැනක් නැහැ. බොන්න වතුර ටිකක් නැහැ. වැසිකිළි පහසුකම් නැහැ. මේ ගැටලු විසඳන්න වතුකරයෙ දේශපාලකයන්ට වැඩපිළිවෙලක් නැද්ද?

ඔබතුමා හරි. අපි පාසල් යන කාලයේ ඉඳන් තිබුණ තත්ත්වය තමයි තාමත් වතුකරය. හැබැයි මෑත ඉතිහාසයේ මේකට අපි ලොකු වෙනසක් කරලා තියෙනවා. තනි ගෙවල් ගෙනාවේ අපි. ඒත් තවම 100%ක් තාම හැදිලා නැහැ.  තව ගොඩක් කරන්න තියෙනවා. යටිතල පහසුකම් හා එයාලගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ද දේවල් කතා කරද්දි ඔබ කිව්ව දෙයට මම එකඟයි. ඒ දේවල් තව ගොඩක් කරන්න තියෙනවා. අපි ඒකයි කියන්නේ, අය-වැයෙන්  මුදල් වෙන් කරන්න ඕනේ වතුකරයේ ජනතාවට. කඹ අදිනවා වගේ ඇද ඇද මේක කරන්න බැහැ. ඕනෑම රජයක් අවොත් කරන්නේ මේ වැඩේ තමයි. ඒ නිසා එවැනි දේ කරන්නෙ නැතුව මේ අහිංසක මිනිස්සුන්ට ඉන්න තනි ගෙවල් හදලා දෙන්න ඕනෑ. සෞඛ්‍ය පහසුකම් බලන්න ඕනේ. වැසිකිලි සම්පූර්ණයෙන් වෙන වෙනම හදන්න ඕනෑ.

සමහර වතුවල වත්ත නඩත්තු කරන්න ඕනෙත් කම්කරුවා. පොහොර ටික දාන්න ඕනෙත් ඔහු. නමුත් අස්වැන්න 50% යි 60% යි දෙන්නෙ. අනෙක් පැත්තෙන් ඒ ඉඩමේ අයිතියකුත් නැහැ. මේක සාධාරණ ද?

ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මෙහෙමයි, දැන් අලුත් ව්‍යවස්ථාව හදනවනේ. ඒ ව්‍යවස්ථාව හදනකොට මේ අය පරම්පරා පහක් හයක් ජීවත් වෙලා ඉන්නවා, අවුරුදු දෙසීයකට වැඩියි. මෙයාලට මේ අයිතිය දෙන්න ඕන. උතුරු නැගෙනහිර තියන ප්‍රශ්න නෙමෙයි වතුකරයේ තියෙන්නෙ. වතුකරයේ ඉතා සාධාරණ ඉල්ලීමක් කරන ජනතාව ඉන්‌නේ. ඒ නිසා මෙම ව්‍යවස්ථාව හදනකොට ව්‍යවස්ථාවට මේකත් ඇතුල් කරන්න ඕනේ. පරම්පරා පහක් හයක් ජීවත් වෙලා මෙරට ආර්ථිකය වෙනුවෙන් වැඩ කරන මේ ජනතාව සම්බන්ධව මේ ව්‍යස්ථාවට ඇතුල් කරලා එයාලට අවශ්‍ය වෙන ඔප්පු, ජීවත් වන වාසස්ථාන දෙන යම් ක්‍රමයක් හදන්න ඕනෑ. ලෝකයේ වෙනත් රටවල්වල මේවා ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවෙන් වෙනත් රට වලට ගිහිං හිටිය ජනතාව ඒ අයිතිය දැන් බුක්ති විඳිනවා. ඕස්ට්‍රේලියාව මැලේසියාව වැනි රටවල ඉන්න ජනයාට මේ ඉඩම් අයිතිය ලැබුණා. ලංකාවෙ මේ අය කුඩා තේ වතු අයිතිකාරයො කරන්න පුළුවන්. මේ කිසි ප්‍රශ්නයක් නැහැ. රජයේ දේවල්නෙ මේ. මේවා ඔක්කොම රජයට අරගෙන කුඩා තේ වතු කරලා කුඩා තේ වතු වල අයිතිකාරයෝ විදිහට අක්කර දෙකක් තුනක් විතර බෙදා දීලා වැඩ කරන්න කිව්වා නම් ක්ෂේත්‍රය රැක ගන්න පුළුවන්.

Social Sharing
නවතම සාකච්ඡා