අළුත් පරපුරවල් හොයාගෙන එක එක පිල්ලි ආවාට ජවිපෙ අතුගා දමන්න බෑ! – ටිල්වින්

මේ වන විට ධනපති ක්‍රමය අර්බුදයකට ලක්ව තිබෙනවා. එයට හොදම උදාහරණය තමයි පවතින ආණ්ඩුව. මේ ආණ්ඩුව ඉතාමත් වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. ආණ්ඩුව අසමත් කියල ජනතාව දැනෙමින් තිබෙනවා. ජනාධිපති අසමත් කියල ආණ්ඩුවේම ප්‍රබලයන් කියනවා. මෙයින් කියන්නේ ධනපති ක්‍රමය අසමත් වෙලා කියන එකයි. ආණ්ඩුව අර්බුදයකට යන කොට ධනපති ක්‍රමය වැටෙන කොට ජනතාව විකල්ප දිහා බලනවා. ඒ විකල්ප දිහා බලන කොට ජනතාවට තෝරාගැනීමට තිබෙන්නේ විශ්වාස කළ හැකි විකල්පය වන්නේ වෙන කිසිවක් නොවෙයි 1971 ජනතා විමුක්ති පෙරමුණේ විරුවන් විසින් දිවි පුතා ආරක්ෂා කර දුන් ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙරේදා(05) තංගල්ලේ දී පැවසීය.

71 වසරේ රට තුළ දියත් කළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයට පනස්  වසරක් පිරීම නිමිත්තෙන් තංගල්ල නගර ශාලා ශ්‍රවනාගාරයේ පැවති සැමරුම් උත්සවයේදී 71 තරුණ නැගිටීම පිළිබදව අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මෙසේද පැවසීය.

ධනපතියන් වෙනුවෙන් ධනපති ආණ්ඩු වෙනුවෙන් කුලියට වැඩ කරන වෙස්වලාගත් කන්ඩායමක් රට තුළ ඉන්නවා. ඔවුන් යැපෙන්නේ ධනවාදයෙන්. ඔවුන් විවිධ නම් වලින් පෙනී සිටිමින් රට තුළ ක්‍රියාත්මක වාමාංශික ව්‍යාපාරය අඩපන කිරීම සදහා කටයුතු කරමින් ඉන්නවා.

මේ දේම එදාත් සිදු වුණා. නිර්ධන පංති අරගලය පාවා දෙමින් ධන පතියන් වෙනුවෙන් සේවය කරන්නට සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වුණු පිරිසක් එදාත් හිටියා. එදත් අද වගේම ජනතා විමුක්ති පෙරමුණ මේ බිමෙන් අතුගා දමන්න ධනපතියන් අසාර්ථක උත්සාහයක යෙදුනා. එදා ඒ සදහා ධනපති ආණ්ඩු ජනතා විමක්ති පරෙමුණේ සහෝදර වරුන්ට මර්ධනය දියත් කළා. නමුත් අද ඒ මර්ධනය ඒ ආකාරයෙන්ම ඔවුන්ට දියත් කිරීමට නොහැකි වී තිබෙනවා. ඒ කිසිවක් නිසා නොවෙයි. අප මේ බිමේ වසර පණහක් දේශපාලනය කරල මහජනතාව අතරට ගිය මහජන ව්‍යාපාරයක් නිසා. පාලකයෝ හිතන් ඉන්න විධියට අපව මර්ධනය කරන්න පුළුවන් කමක් නෑ.

71 අරගලය පිළිබදව විවිධ අය විවිධ අදහස් දක්වනවා. ධනපති ආණ්ඩු එදා කිවුවා 71 තරුණ නැගිටීම එදා තරුණයන්ට තිබුණු අසහනය නිසා සිදු වූ අරගලයක්  කියා. ඇත්තටම සිදු වූයේ එයද? නෑ. පැවති ධනපති ක්‍රමයට විරුද්ධව මේ රටේ තරුණ පරපුර නැගී සිටියා. තරුණ අසහනය නිසා 71 අරගලය සිදුවූවා යැයි ධනපති ආණ්ඩු විසින් කරනු ලබන ප්‍රකාශය අපි බැහැර කරනවා.

අදත්  ධනපති ආණ්ඩු බොරු ගොතමින් ජනතා විමුක්ති පෙරමුණ අඩපන කරන්න කටයුතු කරමින් ඉන්නවා. ජනතාව අතර අප කෙරෙහි ඇති විශ්වාසය පළදු කිරීම සදහා පක්ෂයේ සාමාජිකයින් අතර තිබෙන විශ්වාසය පළදු කිරීම සදහා ධනපති ආණ්ඩු සහ ඔවුන්ට බැලමෙහෙවරකම් කරමින් යැපෙන සමහර සංවිධාන කටයුතු කරමින් ඉන්නවා. ඒ සදහා ධනපතියන් එක එක පිල්ලි එවනවා. දැන් අළුත් පරපුර හොයන කට්ටියක් ඉන්නවා. පරණ පරපුර හොයන අය ඉන්නවා. විප්ලවවාදින් හොයන අය ඉන්නවා. එහෙම එක එක පිල්ලි ගෙනවිත් ජනතා විමුක්ති පෙරමුණ මහ පොළවෙන් අතුගා දමන්න මේ වන විටත් ධනපති ආණ්ඩු කටයුත කරමින් ඉන්නවා.

ජනතා විමුක්ති පෙරමුණ අඩපන කිරීම සදහා කටයුතු කරන ධනපති ආණ්ඩුවලටත් ඔවුන්ගේ බැලමෙහෙවර කම් කරන පිල්ලි වලටත් අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණ අවතක්සේරු කරන්න එපා. ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 50ක් මේ බිමේ දේශපාලනය කරපු පක්ෂයක්. එහෙම පක්ෂයක් ඔය ධනපති ආණ්ඩු වලටත් ඔවුන්ගේ රූකඩ වලටත්  වට්ටන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ සංයමයකින් දේශපාලනය කරනවා. ඒ සංයමය අපේ දුබලකමක් වශයෙන් හිතන්න එපා. ජනතා විමුක්ති පෙරමුණ ඕන වෙලාවක අයුක්තියට එරෙහිව සටන් කරන්න සූදානම්. අරගලයේ මාදිලිය වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි අයුක්තිය ඉවසන්නේ නෑ. අයුක්තිය වෙනුවෙන් අපි ඕන වෙලාවක සටන් කරන්න සූදානම්. මේ මානව ප්‍රජාවට විමුක්තිය ලබාදෙන්න ඒ සදහා සටන් කරන්න අප සූදානම්. ඒ අරගලය ධනපතියන් විසින් සිදු කරනු ලබන බාධාකිරීම් වලින් ආපසු හරවන්න අප සූදානම් නෑ.

අපි ට අද අභියෝග දෙකක් තිබෙනවා. දැන් මේ සමාජය ධනවාදයේ අවසාන අවස්ථාවට ඇවිත් තිබෙනවා. මේ ධනවාදය තුළ මේ සමාජයට පැවැත්වමක් නෑ. ධනවාදය තුළින් අද මිනිසුන් ගේ ජීවිත විනාශ කරමින් යනවා. පරිසරය විනාශ කරමින් මිනිස් ජීවිත විනාශ කරමින් සත්තු විනාශ කරමින් මිනිසුන්ට වස කවමින් යන මේ ධනපති ගමනට තව දුරටත් ඉදිරියට යන්න බෑ.

මේ ධනපති ගමණ, නව ලිබරල්වදී ගමන පැරැද්දීම සදහා අපට සටනක් තිබෙනවා. ඒ සටන පටන් ගන්න කොට විවිධ වේශයෙන් එක එක කණ්ඩායම් එන්න පුළුවන් කම තිබෙනවා සටන මොට කරන්න. නමුත් ඔය හැංගිලි හැමදාම කරන්න පුළුන් කමක් නෑ. ඔවුන් ධනපතියන්ට සේවය කරනු ලබන කුලීකරුවන් බව වැඩි කල් නොගොස් මේ සමාජයට අවබෝධ වෙනවා.

අපි එක් පක්ෂයක්. එකිනෙකාට ප්‍රේම කරන එක අරමුණක් වෙනුවෙන් අරගල කරන පක්ෂයක් අපි. අපිට විවිධ අරමුණු නෑ.අපිට තියෙන්නේ එකම අරමුණක් පමණයි. ඒ අරමුණ වෙනුවෙන් එකට ජීවිතය පුජා කරන්න වුණත් පසුබට නොවෙන සාමාජිකයින් ඉන්න පක්ෂයක් අපි. මේ රටේ එහෙම පක්ෂ තවත් නෑ. ධනපති පක්ෂ මේ රටේ තිබෙන්නේ එකිනෙකාගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන්.

ජනතා විමුක්ති පෙරමුනේ අපේ සහෝදර සහොදරයින් 1971 අරගලයේදි දස දහස් ගණනක් වඳ බන්ධනයට ලක්වුනෙත් ජීවිත පූජා කළේත් එක අරමුණක් වෙනුවෙන්. ඒ අරමුණ වෙනුවෙන් අද දවසේත් කොන්දේසි විරහිතව අපි පෙනී සිටිනවා. වත්මන් අපේ පරපුරත් කිසිදු පෞද්ගලික ලාභ අපේකෂාවක් නෙමැතිව ඒ වෙනුවෙන් පෙනී සිටින්නට සූදානම් බව මම අවසාන වශයෙන් පවසනවා.

මෙම අවස්ථාවට හිටපු ජ.වි.පෙ. පාර්ලිමෙන්තු මන්ත්‍රී  නිහාල් ගලප්පත්ති, හා 71 අරගලයේ සාමාජිකයින් රැසක්ද සහභාගි වූහ.

චන්ද්‍රසේන ගමගේ – හුංගම

Social Sharing
නවතම