විදුහල්පතිවරුන් ඡන්ද වැඩට යොදා ගැනීම වහාම නවතනු!

පාසල්වලට ඉදිරියේදී ලැබීමට නියමිත සම්පත් ලබාදීමට නම් විදුහල්පතිවරු මැතිවරණ අපේක්ෂකයන් විසින් කැඳවන රැස්වීම්වලට සහභාගි වී තිබීම නිර්ණායකයක් ලෙස සලකන බව ප‍්‍රකාශ කරමින් විදුහල්පතිවරු සෑම ප‍්‍රදේශයකම දේශපාලන රැස්වීම්වලට සහභාගී කරවීම බරපතල නීති විරෝධී ක්‍රියාවක්  මෙන්ම විදුහල්පතිවරු බරපතල පීඩාවකට ලක් කිරීමක් බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

ලංකා ගුරු  සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන නිවේදනයක්  මගින් පෙන්වා දී ඇත්තේ ජුනි 21 ඉරිදා  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලද රැස්වීමක් සඳහා බදුල්ල ප‍්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරු බදුල්ල කැපිටල් සිටි හෝටලයට කැඳවා තිබු  බවයි.

එම රැස්වීමට බදුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ශ්‍රී  ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකු වන ආර්.එම්. ප්‍රේමදාස  ද සහභාගී වී ඇති බව ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් පෙන්වා දෙයි.

එසේම අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ජුනි 18 දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ  විදුහල්පතිවරු අනුරාධපුර ෆාර්ම් ගාර්ඩන් හෝටලයට කැඳවා තිබූ බව ලංකා ගුරු සංගමය ජුනි 22 සදුදා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

“ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම රැස්වීම ඔහුගේ නිවසේ පැවති අතර, එම කටයුත්ත නතර කිරීමට මැතිවරණ කොමිසමේ නිලධාරීන් පොලීසිය සමග එම නිවසට ගොස් තිබුණි.”

මැතිවරණ අපේක්ෂකයකු වන උදිත ලොකුබණ්ඩාර  විසින් ද විදුහල්පතිවරු ඉහත ආකාරයේම  රැස්වීමකට ලබන  ජුනි 25 දින බදුල්ල ප්‍රිම්රෝස් හෝටලයට කැඳවා ඇති බව පවසන ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් සදහන් කරන්නේ  ඒ සම්බන්ධයෙන්ද  ද ලංකා ගුරු සංගමය මැතිවරණ කොමිසමට  ජුනි 22 සදුදා  පැමිණිලි කළ බවයි.

මැතිවරණ නීතිරීති අනුව විදුහල්පති සේවයේ නිලධාරීන්ට දේශපාලන වරප‍්‍රසාද අහිමි බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ එසේම විදුහල්පතිවරු මැතිවරණයේ දී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති (SPO) ලෙස රාජකාරිවල නිරත වන පිරිසක් බවයි.

මේ තත්වය මත විවිධ බලපෑම් සිදුකරමින් මැතිවරණ රැස්වීම් සඳහා විදුහල්පතිවරු කැඳවීම නතර කිරීමට පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිලි කර තිබේ.

Social Sharing
නවතම